Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දැල්පන්දු මුල් පුටුවට ලක්ෂ්මි නිතරගයෙන්

දැල්පන්දු මුල් පුටුවට ලක්ෂ්මි නිතරගයෙන්

නාමල් පතිරගේ - 2020 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය ලෙස එහි වත්මන් සභාපතිනි ලක්‍ෂ්මි වික්ටෝරියා මහත්මිය යළිත් නිතරගයෙන් පත්ව සිටියි. ලබන අගෝස්තු 29වැනිදා පැවැත්වීමට නියමිත දැල්පන්දු සම්මේලනයේ නිලවරණය  සඳහා නාමයෝජනා කැඳවීම පසුගිය සිකුරාදා (24) අවසන් විය.

ප්‍රධාන ලේකම් ධුරයට වත්මන් ලේකම් චම්පා ගුණවර්ධන මහත්මිය නිතරගයෙන් යළිත් පත්ව සිටියි. ඇය කළුතර දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ වත්මන් ලේකම්වරියයි.

දැල්පන්දු සංගමයේ සාමාජික අනුසංගම් 21 ක යෝජනා ස්ථීරත්වයෙන් මෙවර නිලවරණය සඳහා ඉදිරිපත්ව සිටින සභාපතිනි ලක්‍ෂ්මි වික්ටෝරියා මහත්මියගේ නාමයෝජනාව සහතික වී තිබේ.

සභාපති ධුරය සඳහා වික්ටෝරියා මහත්මියගේ නාමයෝජනාව පමණක් ඉදිරිපත්ව තිබූ බැවින් ඇගේ පත්වීම අගෝස්තු 29 වැනිදා කැඳවන නිලවරණයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. මෙවර නිලවරණය සඳහා උපලේකම් ධුරය හැරෙන්නට සෙසු සියලු තනතුරු සඳහා එක් නාමයෝජනාවක් බැගින් ඉදිරිපත්වීම හේතුවෙන් එම තනතුරු සඳහා වන පත්වීම්ද නිතරගයෙන් සිදුකෙරෙනු ඇත.

උපලේකම් ධුරයට පමණක් නාමයෝජනා දෙකක් ඉදිරිපත්ව තිබේ.

දැල්පන්දු සම්මේලනයේ වසර කීපයකට පෙර සිදුකළ ව්‍යවස්ථා සංශෝධනයට අනුව විධායක සභාවේ සංයුතිය තනතුරු හයකට පමණක් සීමාවී තිබේ.

ලක්‍ෂ්මි වික්ටෝරියා මහත්මිය ආසියානු දැල්පන්දු සම්මේලනයේ වත්මන් නියෝජ්‍ය සභාපතිනිය ද වේ.

දැල්පන්දු සම්මේලනයේ නිලවරණය හා සමගාමීව පැවැත්වෙන මහ සභා රැස්වීමට මෙවර කැඳවුම් ලබා සිටින අනුසංගම් ගණන 36 කි. ත්‍රීකුණාමලය දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ ඡන්ද බලය මෙවර නිලවරණයේදී අහෝසි කර තිබෙන අතර ඊට හේතුව එය පසුගිය නිල කාලයේදී ක්‍රියාකාරීත්වයක් නොපෙන්වීම බව දැල්පන්දු නිලවරණ කමිටුව ප්‍රකාශ කරයි.

දැල්පන්දු සම්මේලනයේ සාමාජිකත්වය හොබවන ශ්‍රී ලංකා පාසල්, ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකරුවන්ගේ හා ශ්‍රී ලංකා දැල්පන්දු විනිසුරුවන්ගේ යන අනුසංගම් සඳහා නිලවරණයේදී ඡන්ද බලය හිමි නොවේ.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාගේ සභාපතීත්වයෙන් යුත් නිලවරණ කමිටුවක් විසින් මෙවර දැල්පන්දු නිලවරණය මෙහෙයවයි. අගෝස්තු 29 වැනිදා පෙරවරු 10ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී දැල්පන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වේ.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණයට ඉදිරිපත් වී ඇති නාමයෝජනා
♦ සභාපති ධුරයට:- ලක්‍ෂ්මි වික්ටෝරියා මහත්මිය (කොළඹ හා ජනසතු සේවා)
♦ ප්‍රධාන ලේකම් ධුරයට: චම්පා ගුණවර්ධන මහත්මිය (කළුතර)
♦ භාණ්ඩාගාරික ධුරයට:- නීතිඥ පද්මිණි හොරණගේ මහත්මිය (කොළඹ)
♦ නියෝජ්‍ය සභාපතිනි:- කුමාරිහාමි දිසානායක මහත්මිය (මහනුවර)
♦ උපලේකම් ධුරය:- සුමිත්‍රා වනසිංහ (මාතලේ) හා ශ්‍යාමා කුරේ (වෙළඳ සේවා) යන මහත්මීන්
♦ උපභාණ්ඩාගාරික ධුරයට:- හිරන්ති සේනානායක මහත්මිය (කෑගල්ල)


අදහස් (0)

දැල්පන්දු මුල් පුටුවට ලක්ෂ්මි නිතරගයෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.