Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පඩි ගෙවන්න ඩොලර් නෑ - රත්තරනින් ගෙවයි

පඩි ගෙවන්න ඩොලර් නෑ - රත්තරනින් ගෙවයි

editorial - 2022 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවේ සේවය කරන ඉන්දීය ජාතික  කබඩි (විශේෂඥ) පුහුණුකරු කේ. බාස්කරන් මහතාට ඇමරිකානු ඩොලර් වලින් වැටුප් ගෙවීම අසීරුවී තිබෙන බැවින් ඔහුගේ මාසික වැටුපේ වටිනාකමට සරිලන ආකාරයෙන්  ඒ වෙනුවට රත්තරන් ලබාදීමට කටයුතු කර ඇතැයි වාර්තාවේ.

මාස කීපයක්ම මේ ආකාරයෙන් ඔහුගේ වැටුප ගෙවා ඇත්තේ රත්තරන්වලින් බව දැන ගන්නට ලැබේ.

ඩොලර් වෙනුවට ශ්‍රී ලංකාවේ රුපියල්වලින් වැටුප් ලබා ගැනීමට ද බාස්කරන් මහතා ඇකමැත්ත පළ කිරීම හේතුවෙන් ඔහු සෑහීමට පත්වන විකල්ප ක්‍රියා මාර්ගයක් ලෙස ඔහුගේ වැටුප රත්තරනින් ගෙවීමට ශ්‍රී ලංකා කබඩි සම්මේලන නිලධාරීන් කටයුතු කර තිබේ.

එළඹෙන 2022 ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ජාතික කබඩි (කාන්තා/පිරිමි)සංචිත දෙකේම පුහුණුවීම් මෙහෙයවීම සඳහා කේ. බාස්කරන් මහතා පසුගිය වසරේ ඔක්තෝබර් මස 31 වැනිදා සිට ශ්‍රී ලංකාවේ රැඳී සිටී.

ඔහුගේ සේවය අවසන් වන්නේ එළඹෙන සැප්තැම්බර් 10 සිට 25 වැනිදා දක්වා චිනයේ හැංග්ෂු නුවර දී පැවැත්වෙන 19 වැනි ආසියානු  ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් සහභාගිවීමෙන් පසුවය.

නිවාඩුවක් ගත කිරීම සඳහා බාස්කරන් මහතා මේ වනවිට සිය මව්රට බලා ගොස් සිටි අතර අද  (21) දිනයේ දී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට සුදානම්ව සිටියේය.

බාස්කරන් මහතා ඉන්දීය කබඩි ක්‍රීඩා කේෂ්ත්‍රයේ විශිෂ්ටතම (විශේෂඥ) පුහුණුකරුවකු ලෙස පිළිගැනෙන අතර ඔහු යටතේ ඉන්දියාව, ආසියානු ක්‍රීඩා උළෙල කීපයකදීම රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබේ.

ඔහුගේ වෘත්තීමය දිවියේ තවත් කිර්තිමත් අවස්ථාවක් වන්නේ ඉන්දීය වෘත්තිය කබඩි  තරගාවලිය (2020) ජයගත් ‘තමිල් තලේබාර්’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු කටයුතු කිරීමය.

ඔහුගේ වැටුප් හා දීමනා ගෙවීම ක්‍රීඩා අමාත්‍යාංශය හඳුන්වාදුන් උසස් දක්ෂතා ප්‍රවර්ධන වැඩසටහන යටතේ සිදු කෙරේ. කෙසේ වුවත් පසුගිය ජනවාරි 7 වැනිදා සිට ජාතික කබඩි කාන්තා හා පිරිමි සංචිත හැරයාමට ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටයුතු කිරීමෙන් එහි පුහුණුවීම් තවමත් අඩපණ තත්ත්වයක පවති. ඊට හේතු වූයේ ජාතික කාන්තා හා පිරිමි කබඩි සංචිත දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් ත්‍රිවිධ  හමුදා නියෝජනය කිරීමයි.

මෙම තත්ත්වය තුළ බාස්කරන් මහතා කළකිරීමට පත්ව ශ්‍රී ලංකා සේවයෙන් ඉවත් යාමට දැරූ උත්සාහක් කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතාගේ මැදිහත්වීමෙන් වළක්වාගත් බවත් වාර්තාවේ. අනුර පතිරණ මහතා මේ වනවිට අන්තර් ජාතික කබඩි සම්මේලනයේ උප සභාපති ධුරයක් ද දරයි.


අදහස් (0)

පඩි ගෙවන්න ඩොලර් නෑ - රත්තරනින් ගෙවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.