Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ප්‍රවීණයන් නැතිව කබඩි කණ්ඩායම බංග්ලාදේශයට

ප්‍රවීණයන් නැතිව කබඩි කණ්ඩායම බංග්ලාදේශයට

editorial - 2022 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ප්‍රථම වතාවට ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් තොරව ජාත්‍යන්තර කබඩි තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායම (පිරිමි) තෝරා ගැනීමට ශ්‍රී ලංකා කබඩි සම්මේලනය පියවරගෙන තිබේ. මෙම කණ්ඩායම අද (16 වැනිදා) දිවයිනෙන් පිටත්ව යයි.

රටවල් හතක සහභාගිත්වයෙන් බංගලාදේශයේ ඩකා නුවර දී මෙම 16 සිට 25 වැනිදා දක්වා පැවැත්වෙන ‘බංගා බන්දු’ කුසලාන ජාත්‍යන්තර (පිරිමි) කබඩි තරගාවලියට ශ්‍රී ලංකා ජාතික කබඩි (පිරිමි) කණ්ඩායම සහභාගි වෙයි.

 පසුගිය ඉරිදා (6) ක්‍රීඩා අමාත්‍යාංශ ටොරින්ටන් ගෘහස්ථ පිටියේදී කැඳවා තිබූ තේරීම් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 80 දෙනකු සහභාගි වූ බව ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පැවසීය. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් 12 දෙනෙකුගෙන් සමන්විත ය.

කබඩි සම්මේලනය පැවැත්වූ ජාතික කබඩි තරගාවලිය සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුමක් හේතුවෙන් ජාතික කාන්තා හා පිරිමි සංචිතවල සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආපසු කැඳවීමට ත්‍රිවිධ හමුදාවලට අයත් කබඩි ක්‍රීඩා සංගම් පියවර ගත්තේය. එම ආරවුල් තත්ත්වය මත කබඩි සම්මේලනයේ පාර්ශවයෙන් හා ජාතික සංචිතයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාර්ශවයේ පැමිණිලි දෙකක් ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් කෙරිණ.

එම පැමිණිලි මේ වන විට විභාග වෙමින් පවතින අතර ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ත්‍රිවිධ හමුදා කබඩි ක්‍රීඩා සංගම්වලට මෑතක දී දැනුම් දී තිබුණේ පැමිණිලි විභාග වීමට ඉඩ තබා සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැවත ජාතික සංචිතවලට පුහුණුවීම් සඳහා යොමු කරන ලෙසයි.

කෙසේ වුවත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීමෙන් ඔවුන් නොමැතිව ජාතික කබඩි තේරීමේ තරගාවලියක් කැඳවා ‘බංගබන්දු’ කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තොරා ගැනීමට පියවර ගත් බව ද අනුර පතිරණ මහතා පැවසීය.

‘බංගබන්දු’ කුසලාන තරගාවලියට සත්කාරක බංග්ලාදේශය ඇතුළුව ශ්‍රී ලංකාව, එංගලන්තය, කෙන්යාව, නේපාලය, ඉරානය, ඉන්දුනීසියාව යන රටවල් සහභාගි වෙති.
ජාතික කබඩි ජාතික කාන්තා හා පිරිමි සංචිතවල කල් ගෙවමින් ඉන් ඉවත්ව ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් ජාත්‍යන්තර තරග අත්දැකීම්වලින් පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති. මේ හේතුවෙන් ඉන්දියානු ප්‍රවීන කබඩි පුහුණුකරු කේ. බාස්කරන් මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ වූ ජාතික කබඩි කාන්තා හා පිරිමි සංචිත දෙකේම කටයුතු අඩපණ වූයේ එය පවත්වා ගෙන යාමට තරම් ප්‍රමාණවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඉතිරිව නොසිටි බැවිනි.

ඉන්දීය කබඩි පුහුණුකරු බාස්කරන් මහතාගේ කණස්සල්ල පළ වී ඇත්තේ එළඹෙන 22 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත ගත කර තිබිය දී උද්ගත වූ මෙම තත්ත්වය ආසියානු ක්‍රීඩා තරග සංචාරයට බෙහෙවින් අහිතකරව බලපෑමට හේතුවිය හැකි බව පවසමිනි.

‘බංගබන්දු’ කුසලාන අන්තර් ජාතික කබඩි (පිරිමි) තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමේ නායකයා ලෙස ආසියානු ක්‍රීඩා සහ සාග් ක්‍රීඩා ඇතුළුව අන්තර්ජාතික තරග අත්දැකීම් ගණනාවකින් හෙබි ඩබ්.ඒ. ළහිරු සම්පත් නිර්දේශ කර තිබේ.


බංගබන්දු කුසලාන අන්තර් ජාතික කබඩි (පිරිමි) ආරාධිත තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
ළහිරු සම්පත් (නායක) එල්. තනුෂාන්, එල්.එස්.ඩී. මධුවන්ත, වසන්ත කුමාර, ආර්. බෙන්සි, අස්ලාම් සාජා, ඩී.එම්.ඒ. මිහිරංග, ඒ. මොහාන්රාජ්, වයි.පී. සඳුන් නිරූධ, එල්. අනෝජ්, එච්.ටී.සී. හසංක, එස්.එම්. සබිනාත්,

අතිරේක ක්‍රීඩකයෝ
එම්.ජී. සම්පත්, එන්.එන්.ආර්. දුල්ෂාන්, ඩී. තිනෂ් හා අකිල ලක්‍ෂාන්.

කාර්ය මණ්ඩලය
ආර්.පී.පී. ප්‍රියන්ත (පුහුණුකරු), පී.කේ. රත්නායක (කළමණාකරු), හේමන්ත බණ්ඩාර (කණ්ඩායම් ප්‍රධානී), එස්.එම්. ඉස්මත් (තාක්ෂණික නිලධාරී), එස්.ඩී.අයි. වර්ණකුලසූරිය (තාක්ෂණික නිලධාරී),  කේ.ආර්. විජේසිංහ (සම්භාහක)


අදහස් (0)

ප්‍රවීණයන් නැතිව කබඩි කණ්ඩායම බංග්ලාදේශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.