Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පැරිස් නුවර රෝලන්ඩ් ගැරෝස්හිදී පැවැත්වෙන ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස රුසියාවේ ඇනස්ටේෂියා පව්ලියුචෙන්කෝවා පරාජය කරමින් සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීමට චෙක් ජනරජයේ බාබරා ක්‍රේසිකෝවා සමත් වූවාය.
පළමු වටය ලකුණු 6-1 ක් ලෙස ජයගත් බාබරා, වට 1-0 ක් ලෙස පෙරමුණ ගනිමින් අවසන් තරගයට හොඳ ප්‍රවේශයක් ලබාගත්තාය. කෙසේ වුවත් දෙවැනි වටය ලකුණු 6-2 ක් ලෙස ජයගත් ඇනස්ටේෂියා වට 1-1 ක් ලෙස තරගය සම තත්ත්වයට පත් කළාය. දෙදෙනාටම තීරණාත්මක වූ තෙවැනි වටයේදී ලකුණු 6-4 ක් ලෙස ඇනස්ටේෂියා පරාජය කළ බාබරා වට 2-1 ක් ලෙස අවසන් තරගයේ ජය තමන් සතු කරගත්තාය.
මේ වන විට 25 වැනි වියේ පසුවන බාබරා ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 33 වැනි ස්ථානයේ පසුවන අතර 29 වැනි වියේ පසුවන ඇනස්ටේෂියා ශ්‍රේණිගත කිරීම්හි 32 වැනි ස්ථානයේ රැදී සිටින්නීය. මෙම තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔවුන් දෙදෙනාම තරගාවලිය නිමාවීමෙන් අනතුරුව ශ්‍රේණිගත කිරිම්වල ඉදිරියට පැමිණෙනු ඇත.
අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක් (7/5, 4/6, 9/7) ලෙස ග්‍රීසියේ මාරියා සකාරි පරාජය කරමින් බාබරා අවසන් මහ තරගයට පිවිසියාය. ඇනස්ටේෂියා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (7/5, 6/3) ලෙස ස්ලොවේනියාවේ තමාරා සිඩාන්සෙක් පරාජය කරමිනි. මින් පෙර ඔවුන් දෙදෙනාම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා නොසිටියහ.
තමාගේ උපදේශිකාව ලෙස කටයුතු කළ චෙක් ජන රජයේ හිටපු ටෙනිස් ක්‍රීඩිකා ජානා නොවොට්නා සිහිපත් කරමින් ඇයට ගරු බුහුමන් දැක්වීමටද ජයග්‍රහණයෙන් පසුව බාබරා අමතක නොකළාය. හිටපු විම්බල්ඩන් ශූරියක වන නොවොට්නා, 2017 වසරේ ඩිම්බකෝෂ පිළිකාවක් හේතුවෙන් මිය ගිය අතර මියයන විට ඇය 49 වැනි වියේ පසු වූවාය.
බාබරා 18 වැන වියේ පසුවෙද්දී ඇගේ දෙමාපියන් ඇයව නොවොට්නාගේ නිවසට ගෙන ගොස් ඇයට ටෙනිස් ක්‍රීඩාව සම්බන්ධයෙන් උපදෙස් දෙන ලෙස ඉල්ලා ඇත. ඒ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසු වූ නොවොට්නා, බාබරා තුළ යම් විශේෂත්වයක් දැක ඇය පිළිබඳව පැහැදීමෙන් පසුව ඇගේ පුහුණුකාරිණීය, උපදේශිකාව මෙන්ම සමීපතම යෙළියක් ලෙසද කටයුතු කර ඇත.
“මේ සිදුවෙලා තියෙන දේ ගැන මට විශ්වාස කරන්න බැහැ. තවමත් මට හිතාගන්න බැහැ මම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනුවා කියලා. ඇත්තටම මට හුඟක් සතුටුයි. ඒ සතුට කියලා නිම කරන්න මට වචන නැහැ. මේ ජයග්‍රහණයේ සියලුම ගෞරව මගේ උපදේශිකාව වූ නොවොට්නාට හිමිවිය යුතුයි. ඇය තමයි මේ ගමන එන්න මාව දිරිමත් කළේ. දැනුත් ඇය කොහේ හරි ඉදන් මා දිහා බලාගෙන ඇති. ඇගේ ආශිර්වාදය හැමදාමත් මා සමග තියෙනවා.” යැයි බාබරා පැවසුවාය.
මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි කාන්තා යුගල කාණ්ඩයේ පෙරමුණේ පසුවන බාබරා, අද (13 වැනිදා) සිය සහයක ක්‍රීඩිකාව වන කැත්‍රිනා සිනියකෝවා සමග යුගල ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වීමටද සූදානමින් සිටින්නීය. එම තරගයෙන් ජය ගැනීමට ඔවුන් දෙදෙනා සමත් වුවහොත් 2000 වසරෙන් පසුව ප්‍රංශ විවෘත තරගාවලිය කේවල සහ යුගල ඉසව් දෙකම ජයගත් පළමු ක්‍රීඩිකාව බවටද බාබරා පත්වනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.