Last Update  :  2024-12-26 18:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය කල් දමයි

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය කල් දමයි

editorial - 2024 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මීගමුව වෙරළ උද්‍යාන තීරයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් (කාන්තා සහ පිරිමි) තරග මාලාව මාසයකින් කල් දැමීමට සත්කාරක ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව මෙම තරග මාලාව ජනවාරී 16 සිට 19 වැනිදා දක්වා මීගමුව වෙරළ උද්‍යාන තීරයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය ආරම්භවීමට නියමිතව තිබුණේ දෙසැම්බර් 18 වැනිදා සිට 22 වැනිදා දක්වාය.

මෙම තරගාවලිය කල් දැමීමට ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වන්නේ ඒ සදහා වැයවන රුපියල් මිලියන නවයකට ආසන්න මුදල මෙතෙක් සොයා ගැනීමට නොහැකි වීමයි. ඒ පිළිබදව වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා හා නියෝජ්‍ය ඇමැතිවරයා ලිඛිතව දැනුවත් කිරීමට වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවකට සූදානම් බව ඇමතිවරයා මෙන්ම නියෝජ්‍ය ඇමතිවරයාත් දැනුම්දී තිබේ. කෙසේ වෙතත් මෙම තරගාවලියට ආයතනික අනුග්‍රාහකයන් සොයා ගැනීමේ උත්සහයකද වොලිබෝල් සම්මේලනය නිරත වෙමින් සිටියි.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ සත්කාරය ලබාගත්තේ හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා ඇමැති ධූරය දරමින් සිටියදී ඔහුගේ උපදෙස් පරිදිය. එවකට සංචාරක කටයුතු ඇමැතිවරයා ලෙසත් කටයුතු කරමින් සිටි හරීන් ප්‍රනාන්දු මහතා මෙරට සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනක් ලෙස මෙම වෙරළ වොලිබෝල් තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවට යෝජනා කර තිබේ. එහිදී එහි වියදම් සදහා සංචාරක අමාත්‍යාංශය මැදිහත්වීම් කරන බවත් හරීන් ප්‍රනාන්දු මහතා වොලිබෝල් සම්මේලනයට වැඩිදුරටත් දැනුම්දී තිබූ බවත් වාර්තාවේ.

මෙම මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට රටවල් 10 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් වීමට සූදානමින් සිටියහ. කෙසේවූවත්, වැලැක්විය නොහැකි හේතුන් මත, මෙවැනි ජාත්‍යන්තර තරගාවලියක් එක් වරක් පමණක් කල් දමා ගැනීමේ අවස්ථාව සත්කාරක රටට හිමිවේ. එහෙත් සත්කාරයෙන් ඉවත් වන්නේ නම් ඩොලර් 10‍,000 ක දඩයකට යටත්වීමට සත්කාරක රටට සිදු වේ.

මෙම තත්වය සැලකිල්ලට ගෙන කුමන බාධා මැද වූවද ආසියානු වෙරළ වොලිබෝල් තරග මාලාව පැවැත්වීමට ශ්‍රී ලංකාව උනන්දුවී සිටින බව මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධූරයද දරන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවැසීය.

පසුගිය වසර කිපයකදී ශ්‍රී ලංකාව ආසියානූ වොලිබෝල් තරගාවලි හා ආසියානු වෙරළ වොලිබෝල් තරග මාලා කීපයකම සත්කාරය දරා තිබේ.


අදහස් (0)

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.