Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මීළඟ පාපැදි නිලවරණයට අන්තර්ජාතික සංගම් කැඳවයි

මීළඟ පාපැදි නිලවරණයට අන්තර්ජාතික සංගම් කැඳවයි

editorial - 2022 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මීළඟ නිලවරණය (2022-23) කැඳවීමේදී අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ හා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව හවුල් කර ගන්නා බව පාපැදි සම්මේලනයේ සභාපති එච්.එල්. ක්‍රිෂාන්ත මහතා පවසයි. ඒ සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධීකරණය ලබා ගන්නා බව පැවසූ ඔහු, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මීළඟ නිලවරණය එහි ව්‍යවස්ථාව අනුව මෙම 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතුව ඇතැයි ද පැවසීය.

එසේ වුවත් අවසන් නිලවරණය පවත්වා ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් 6 වැනිදා බැවින්, මීළඟ නිලවරණය මෙම වසරේ අප්‍රේල් මාසයට පෙර පවත්වා අවසන් කිරීමත් ප්‍රමාණවත් වන බව ද ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.

මේ අතර ගාලගෝට්ටි තත්ත්වයන් මැද නිමාවට පත් වූ පාපැදි සම්මේලනයේ කවුන්සිල (මධ්‍යම කමිටු) රැස්වීමේදී මීළඟ නිලවරණය මෙහෙයවීම සඳහා පත් කළ නිලවරණ කමිටුවට විරෝධය පළ කරමින් ක්‍රීඩා සමාජ 10ක් නියෝජිතයෝ සභාවෙන් පිටව ගියහ. එහිදී ඔවුන්ගේ තර්කය වූයේ අන්තර් ජාතික පාපැදි සම්මේලනය නිල වශයෙන් පිළිනොගත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වත්මන් පාලනයට නිලවරණ කමිටුවක් පත් කිරීමට වින්‍යානුකූල බලයක් නැති බවයි. සභාවෙන් පිටව ගිය ක්‍රීඩා සමාජ නියෝජිතයන් තවදුරටත් විරෝධයෙන් ප්‍රකාශ කර ඇත්තේ, යෝජනා කර ඇති නිලවරණ කමිටුව කෙරෙහි තමන්ගේ විශ්වාසයක් නැති බවයි.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පත් කළ නිලවරණ කමිටුව පසුගිය නිලවරණය මෙහෙයවීමේදී පක්ෂග්‍රාහීව කටයුතු කළ බවට මෙම නියෝජිතයෝ චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් පැවැති කවුන්සිල රැස්වීමේදී මූලාසනය ගත් පාපැදි සම්මේලනයේ සභාපති එච්.එල්. ක්‍රිෂාන්ත මහතා මෙසේ පැවසීය.

එකිනෙකාට එරෙහිව යන පාර්ශ්ව දෙකක් මැදිකර ගෙන අද මට විධායක සභාවේ කටයුතු කරන්න වෙලා තිබෙනවා. මම කියන්නේ මේ පාර්ශ්ව දෙකම නම්‍යශීලී වී කටයුතු නොකළොත් විනාශ වෙන්නේ මේ රටේ පාපැදි ක්‍රීඩාවයි.

මම කියන්නේ ඒ පාර්ශ්ව දෙකම එකතු කරගෙන ගියොත් අපේ රටට පනවා තිබෙන අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ තහනම ඉවත් කර ගෙන රටේ පාපැදි ක්‍රීඩාවේ උන්නතියට දුර ගමනක් යන්න පුළුවන්.

එහෙම නොවුණොත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ළඟ එන ටී-කප් පැපැදි සවාරිය වගේම ශ්‍රී ලංකාවට ලැබෙන ආසියානු තරග සංචාරයත් අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නය අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා සමගත් සාකච්ඡා කරන්න මා බලාපොරොත්තු වෙනවා.

කවුන්සිල රැස්වීමේදී නවක ක්‍රීඩා සමාජ කිහිපයකට පාපැදි සම්මේලනයේ සාමාජිකත්වය වසරක පරිවාස කාලයකට යටත්ව පිරිනමා තිබේ.

අවසන් වරට 2021 අප්‍රේල් 6 වැනිදා පැවැති පාපැදි සම්මේලනයේ නිලවරණයට (2021-22) ක්‍රීඩා සමාජ 43ක් සහභාගි වී තිබේ.

මෙරට පාපැදි ක්‍රීඩා පරිපාලනයේ උද්ගතව තිබෙන ආරවුලට ආසන්නතම හේතුව පැවැති එම නිලවරණයෙන් පත්වූ විධායක සභාව පිළිගැනීම අන්තර්ජාතික පාපැදි සම්මෙලනය දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමය. ඒ නිලවරණ කමිටුව පත් කිරීමේදී ක්‍රීඩා අමාත්‍යාංශය අතපෙවීම් කළ බවට චෝදනා කරමිනි.

ඒ හේතුවෙන් අන්තර්ජාතික පාපැදි සම්මේලනය ප්‍රකාශ කර ඇත්තේ අන්තර් ජාතික විනිසුරු එන්. කරුණාරත්න මහතා තවදුරටත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස පිළිගන්නා බවයි.

එම සම්මේලනය ශ්‍රී ලංකාවට යොමු කරන වැඩසටහන් තොරතුරු හා ආරාධනා කිරීම තවදුරටත් නිල වශයෙන් ලැබෙන්නේ එන්. කරුණාරත්න මහතාටය. ඒ හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේ බෙල්ජියමේදී පැවැති අන්තර්ජාතික පාපැදි සම්මේලනයේ මහ සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කළේ එන්. කරුණාරත්න මහතා  විසිනි.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට ලබා දුන් පුහුණු පාඨමාලා කිහිපයක්ම පසුගිය වසරේදීත් මෙහෙය වූයේ එන්. කරුණාරත්න මහතා විසිනි. පාපැදි සම්මේලනයේ උද්ගතව තිබෙන මෙම පරිපාලන අර්බුදය ඉකුත්දා පැවැති ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී ද ඉස්මතු වී පෙනුණි. එහිදී ජාතික ඔලිම්පික් කමිටුව පාපැදි සම්මේලනය වෙනුවෙන් සිය නිලවරණයේදී ඡන්ද බල ප්‍රදානය කර සිටියේ එන්. කරුණාරත්න මහතාටය. එහෙත් උසාවි නියෝගයක් ලබා ගනිමින් එම ඡන්ද අයිතිය තමන්ට ලබා ගැනීමට අප්‍රේල් 6 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ පාපැදි සම්මේලනයේ වත්මන් විධායක සභාව කටයුතු කළේය.

මේ අතර මැයි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටී-කප් පාපැදි සවාරියට ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය අපේක්ෂා කරන්නේ නම් අප්‍රේල් 6 වැනිදා නිලවරණයෙන් පත්වූ විධායක සභාවට එහි මෙහෙයුම් කටයුතු පැවරිය යුතු බවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවත් මෙරටදී පැවැත්වෙන මීළඟ ටී-කප් පාපැදි සවාරියේ මෙහෙයවීම සිදුවන්නේ තමාගේ අධීක්ෂණයෙන් බවත්, ඒ සඳහා සභාපති වන දෙස් විදෙස් ක්‍රීඩකයන් ඇතුළු විනිසුරුවන් හා කාර්ය මණ්ඩලවලට අවසරපත් නිකුත් කිරීමේ හිමිකම් මේ වන විටත් අන්තර් ජාතික පාපැදි සම්මේලනයෙන් තමන්ට පවරා ඇතැයි ද එන්. කරුණාරත්න මහතා පවසයි.

මේ පිළිබඳව පාපැදි සම්මේලනයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, ටී-කප් පාපැදි සවාරිය පිළිබඳව තමන් දැන්ම කළබලයට පත් නොවන බවයි. ඒ වන විට පාපැදි සම්මේලනයේ නිලවරණය පවත්වා අලුත් විධායක සභාවක් පත් වන බැවින්, ටී-කප් පාපැදි සවාරිය මෙහෙයවීමට බොහෝ විට ඔවුන් අතට පත් විය හැකි බව ද ඔහු පෙන්වා දේ.


අදහස් (0)

මීළඟ පාපැදි නිලවරණයට අන්තර්ජාතික සංගම් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.