Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මොහාන් - රවීන් අභියාචනාධිකරණයේ පිහිට සොයති

මොහාන් - රවීන් අභියාචනාධිකරණයේ පිහිට සොයති

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත් කර තිබූ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරු එම තීරණයට එරෙහිව අභියාචනාධිකරණයේ ලබන අඟහරුවාදා (12) නඩුවක් ගොණු කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල අභියාචනා කමිටුවට ඉදිරිපත් වූ විරෝධතා පිළිබඳව සළකා බැලීමෙන් පසුව මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කර තිබේ.

මොහාන් ද සිල්වා මහතා සභාපතිවරයා ලෙස ද, රවීන් වික්‍රමරත්න මහතා උප ලේකම්වරයා ලෙස ද, කටයුතු කරමින් සිටියදී 2005 වසරේ එවකට ක්‍රීඩා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ගැසට් නිවේදනයක් මගින් එම කමිටුව විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කරන ලදි. එය හේතුව බවට පත්කරගනිමින් එම දෙපළගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මොහාන් ද සිල්වා මහතා පැවසුවේ 2005 සිද්ධිය මූලික කරගෙන නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නේ නම් නාමයෝජනා පිළිගත් කීපදෙනකු ද එම එම කමිටුවේ සිටි බවයි.
“2005 සිද්ධිය මූලික කරගෙන ප්‍රතික්ෂේප කරන්න නම් ඒ සම්බන්ධව අපිට එරෙහිව පරීක්‍ෂණයක් කරලා වරදකරුවන් වෙන් ඕනේ. ක්‍රීඩා පනතට අනුව මේ සිද්ධිය ගැන පරීක්‍ෂණයක් කළ යුතුයි. නමුත් එවැනි දෙයක් වූණේ නෑ. අපිට චෝදනා ඉදිරිපත් වෙලත් නෑ. පරීක්‍ෂණයක් කරලත් නෑ. ඉන් පසුවත් අපි ප්‍රධාන තනතුරුවල කටයුතු කළා. නමුත් කිසිඳු අවස්ථාවක අපි වරදකරුවන් වෙලා නෑ” යැයි මොහාන් ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.    

මොහාන් ද සිල්වා මහතා මෙවර නිලවරණයට සභාපති, උප සභාපති සහ ලේකම් යන තනතුරු තුනට ද, රවීන් වික්‍රමරත්න මහතා උප සභාපති, භාණ්ඩාගාරික සහ උප ලේකම් යන තනතුරු තුනට ද නාමයෝජනා ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ මස 21 වැනිදා පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

මොහාන් - රවීන් අභියාචනාධිකරණයේ පිහිට සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.