Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලෝක චෙස් දිනය අදයි

ලෝක චෙස් දිනය අදයි

editorial - 2020 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලෝක චෙස් දිනය අදට යෙදී තිබේ. ජුලි මස 20 වැනිදා ජාත්‍යන්තර චෙස් දිනය ලෙස අනුමත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉකුත් වසරේදී පියවර ගත්තේය. ලෝක චෙස් සම්මේලනය විසින් 1966 වසරේ සිට ජුලි 20 වැනිදා ලෝක චෙස් දිනය ලෙස සමරන අතර චෙස් ක්‍රීඩාව මගින් දරුවන්ගේ මානසික වර්ධනය උදෙසා කෙරෙන මෙහෙය සැලකිල්ලට ගනිමින් යුනෙස්කෝව ජූලි 20 වැනිදා ලෝක චෙස් දිනය ලෙස අනුමත කරන්න’යි එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කළේය.

චෙස් යනු ලොව ජනප්‍රියම ක්‍රීඩාවක් වන අතර මේ වන විට ලොව චෙස් ක්‍රීඩකයන් මිලියන 700 ක් පමණ සිටින බවට වාර්තා වේ.

 එම සංඛ්‍යාව බිලියනයක් දක්වා වැඩි කිරීමේ වැඩ පිළිවෙළක් ලෝක චෙස් සම්මේලනය මේ වන විට ආරම්භ කර තිබේ.

ලෝක චෙස් සම්මේලනය ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ක්‍රීඩා ආයතනයකි. එය රටවල් 190 ක සාමාජිකත්වය සහිත ලොව විශාලතම සංවිධානයකි.

සෑම වසර දෙකකට වරක්ම ලෝක චෙස් ශූරතා සහ චෙස් ඔලිම්පියාඞ් තරග පැවැත්වේ. ළමා (අවුරුදු 8, 10, 12), යොවුන් (අවුරුදු 14, 16 සහ 18 න් පහළ), කනිෂ්ඨ (20 න් පහළ), ආධුනික, ජ්‍යෙෂ්ඨ, පාසල් සහ විශ්ව විද්‍යාල වැනි සෑම අංශයකින්ම ඔවුන් ලෝක චෙස් ශූරතා පැවැත්වේ. ඊට අමතරව මහද්වීපික සංගම් පහ හරහා කලාපීය තරගාවලිද සංවිධානය කෙරේ.  

2018 පාපන්දු ලෝක කුසලානයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ආකාඩි ඞ්වෝකොවිච් මහතා මේ වන විට ලෝක චෙස් සම්මේලනයේ සභාපති ධූරය දරයි. ඔහු 2012 වසරේ සිට 2018 වසර දක්වා අතර රුසියාවේ නියෝජ්‍ය අගමැතිවරයාද විය.
චෙස් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේද ඉතා ප්‍රචලිත ක්‍රීඩාවක් වන අතර ඊට සහභාගිවන වැඩි පිරිසක් පාසල් ළමෝ වෙති. ශ්‍රී ලංකාවේ චෙස් ක්‍රීඩකයින් 150,000 ක් පමණ ලියාපදිංචි වී සිටින බව ශ්‍රී ලංකා චෙස් සම්මේලනය පවසයි.

කුරුණෑගල මාලියදේව විද්‍යාලයේ 16 හැවිරිදි හර්ෂණ තිලකරත්න ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික චෙස් ශූරයාය. සිය විශිෂ්ඨ ක්‍රීඩා හැකියාව වෙනුවෙන් ඔහු මේ වසරේදී (2020) ලෝක චෙස් සම්මේලනයෙන් අන්තර්ජාතික මාස්ටර් පදක්කම දිනා ගත්තේය. අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලයේ ගිහාන්සා ජයවීර වත්මන් ජාතික ශූරියයි.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය වසරකට තරගාවලි 150 කට වඩා සංවිධානය කරන රටේ වඩාත් ක්‍රියාකාරී ක්‍රීඩා සංවිධානයකි. ආකර්ෂණීය මුදල් ත්‍යාග සමග වසරකට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ඉසව් 10 ක් පමණ සංවිධානය කිරීමටද ශ්‍රී ලංකා චෙස් සංවිධානය කටයුතු කරයි. එහිදී ජාතික චෙස් ශූරයාට හිමිවන මුදල් ත්‍යාගය රුපියල් ලක්ෂයකි.

ජාතික චෙස් සම්මේලනය විසින් වසරකට අවම වශයෙන් එක් ආසියානු තරගාවලියක් හෝ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියක් පවත්වා ඇත. ශ්‍රී ලංකා චෙස් සම්මේලනය 2019 වසරේදී සංවිධානය කළ ආසියානු යෞවන චෙස් ශූරතාවලිය වස්කඩුවාවේ සිට්රස්හිදී පැවැති අතර ඒ සඳහා ආසියානු රටවල් 23 ක ක්‍රීඩකයෝ 300 ක් පමණ සහභාගී වූහ.

කොරෝනා වසංගත කාලයේදී පවා ශ්‍රී ලංකා චෙස් සම්මේලනය ඉතා ක්‍රියාකාරී විය. එහිදී ඔවුන් අන්තර්ජාලය ඔස්සේ තරගාවලි 7 ක් පැවැත්වූ අතර රට තුළ පවතින විවිධ චෙස් සමාජවලට සබැඳි තරගාවලි 500 ක් පමණද අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණ.

පසුගිය කාල වකවානුව තුළ තරුණ හා ජාතික සංචිත අන්තර්ජාලය ඔස්සේ පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකා චෙස් සම්මේලනය යුක්රේනයේ ග්‍රෑන්ඞ් මාස්ටර් ඩිමිට්රෝ කොම්රොව් මහතා බඳවා ගත්තේය.

මෑතකදී අන්තර්ජාලය ඔස්සේ පැවැති ආසියානු කනිෂ්ඨ බාලිකා ශූරතාවලියට ක්‍රීඩිකාවන් ඉදිරිපත් කිරීමටද ශ්‍රී ලංකා චෙස් සම්මේලනය පියවර ගත්තේය. එහිදී දකුණු ආසියානු කලාපයේ බාලිකා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඉදිරියේදී රටවල් 180 ක පමණ සහභාගීත්වයෙන් ලෝක චෙස් සම්මේලනය විසින් අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන චෙස් ඔලිම්පියාඞ් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමටද ශ්‍රී ලංකා චෙස් සම්මේලනය  බලාපොරොත්තු වෙයි.

-036


අදහස් (0)

ලෝක චෙස් දිනය අදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.