Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වංචා විමර්ශන වාර්තාව මාධ්‍ය සංදර්ශනයක්

වංචා විමර්ශන වාර්තාව මාධ්‍ය සංදර්ශනයක්

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සිදුවී ඇති වංචා සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බාරදුන් වාර්තාව මාධ්‍ය සංදර්ශනයක් පමණක් යයි ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් එළිදක්වන ලද මෙම වාර්තාව හුදු මාධ්‍ය සංදර්ශනයක් සහ ප‍්‍රතිරූපය නංවා ගැනීමට සිදු කරනු ලැබූ කාර්යයක් විනා ගතයුතු කිසිවක් ඇති වාර්තාවක් නොවන බවද ගණකාධිකාරී සේවා සංගමය විසින් නිකුත් කරන ලද වාර්තාවෙන් කියැවේ.

මෙම වාර්තාවට මාධ්‍ය ප‍්‍රචාරයක් ලබාදීම සඳහා මාධ්‍යවේදීන් වෙත ද නිකුත් කොට ඇති බවත් එහි පිටපතක් තම සංගමයට ද ලැබී ඇති බවත් නිවේදනය කරන ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය එම වාර්තාවේ සටහන් විෂමාචාරයන්ගෙන් දෙකක් හැරුණු විට අනෙකුත් සියලූ කරුණු මෙම වාර්තාව පිළියෙළ කිරීමට කලකට පෙර සිටම විවිධ ආයතන තුළ විමර්ශනය කෙරෙමින් පැවති විෂමාචාරයන් බවද ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය කියා සිටී.

ඒ අනුව සුගතදාස ක‍්‍රීඩාංගනය, ජාත්‍යන්තර ක‍්‍රිකට් විකාශන අයිතිය සී. එස්. එන්. නාලිකාවට පැවරීම, රෙඩෙකෝ ආයතනය සඳහා කොන්ත‍්‍රාත් ලබාදීම, ජාතික ක‍්‍රීඩා සංගම් සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම යන කරුණු වාර්තාව පිළියෙළ කිරීම ආරම්භ වීමටත් පෙර විමර්ශනයට භාජනය වෙමින් පැවති කරුණු යයිද ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගම් නිවේදනයේ සටහන් වේ.

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේ වෙයි.

ක‍්‍රීඩා අමාත්‍යවරයා එළි දක්වනු ලැබූ වාර්තාවේ සඳහන් දුෂණ හා වංචා මෙසේය.

1. සුගතදාස ජාතික ක‍්‍රීඩා සංකීර්ණයේ මීටර් 400 කෘතිම ධාවන පථය ඉදිකිරීම.
2. ජාත්‍යන්තර ක‍්‍රීඩා විකාශන අයිතිය සී. එස්. එන්. නාලිකාවට පැවරීම.
3. පාපන්දු සම්මේලනයේ දුෂණ හා අක‍්‍රමිකතා.
4. ශ්‍රී ලංකා මේසපන්දු සංගමය දුෂණ හා අක‍්‍රමිකතා.
5. ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප‍්‍රාග්ධන වියදම් රෙඩෙකෝ ආයතනය සඳහා කොන්ත‍්‍රාත් ලබාදීම.
6. ජාතික ක‍්‍රීඩා සංගමය සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම.
7. පීරිස් මහතාගේ පැමිණිල්ල.


මෙම විෂමාචාරයන්ගෙන් කරුණු දෙකක් හැරුණු විට අනෙකුත් සියලූ කරුණු මෙම වාර්තාව පිළියෙළ කිරීමට කලකට පෙර සිටම විවිධ ආයතන තුළ විමර්ශනය කෙරෙමින් පැවති විෂමාචාරයන් වේ. ඒ අනුව සුගතදාස ක‍්‍රීඩාංගනය, ජාත්‍යන්තර ක‍්‍රිකට් විකාශන අයිතිය සී. එස්. එන්. නාලිකාවට පැවරීම, රෙඩෙකෝ ආයතනය සඳහා කොන්ත‍්‍රාත් ලබාදීම, ජාතික ක‍්‍රීඩා සංගම් සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම යන කරුණු වාර්තාව පිළියෙළ කිරීම ආරම්භ වීමටත් පෙර විමර්ශනයට භාජනය වෙමින් පැවති කරුණු වේ.

පාපන්දු සම්මේලනය සහ මේසපන්දු සම්මේලනය සම්බන්ධව විගණකාධිපති විසින් විමර්ශනය කොට එහි වාර්තාව එළිදක්වා තිබේ. ඒ අනුව ක‍්‍රීඩා අමාත්‍යවරයා මැදිහත් වී සොයා ගත් කිසිදු මූල්‍ය වංචාවක් මෙම වාර්තාව තුළ ඇතුළත් නොවේ.

ගණකාධිකාරී සේවා සංගමයට ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම වාර්තාව සම්බන්ධව අදහස් ප‍්‍රකාශ කිරීමට සිදු වූයේ, ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සිදුවී ඇති වංචා සහ දුෂණවලට අදාළව අමාත්‍යවරයාගේ දෙබිඩි ප‍්‍රතිපත්තිය හෙළිදරව් කිරීම සඳහා වේ.

එය අප සංගමයේ සාමාජිකයන් වන ක‍්‍රීඩා අමාත්‍යාංශයේ හා ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරුන්ට ඍජුවම අදාළ කරුණකි.

ක‍්‍රීඩා අමාත්‍යංශයට අදාළ ඉහත දුෂණ හා වංචා පිළිබඳව මුල් වරට එළිදරව් කොට එවකට සිටි අමාත්‍යංශ ලේකම්වරයාගෙන් විමර්ශන සඳහා ඉල්ලීමක් කරනු ලැබූයේ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන ගණකාධිකාරී ලෙස කටයුතු කළ එම්. ඞී. එස්. ඒ. පෙරේරා මහතා වේ.

දැනටමත් විමර්ශනයට භාජනය වෙමින් පවත්නා ගුවන් ප‍්‍රවේශපත් නිකුත් කිරීම, සී. එස්. එන්. නාලිකාවට විකාශන අයිතිය පැවරීම, වාහන අලූත්වැඩියාව, අමාත්‍යවරයාට ඉන්ධන නිකුත් කිරීම සහ ක‍්‍රීඩා සංගම්වලට නීති විරෝධීව මුදල් නිකුත් කිරීම වැනි කරුණු පිළිබඳව එවකට ලේකම්වරයාට කරුණු ඉදිරිපත් කිරීමට සිදුවූයේ, මෙම ගෙවීම් අරභයා ගණකාධිකාරීවරුන්ට හිටපු අමාත්‍යවරයාගෙන් එල්ල වූ බලපෑම් හමුවේය.

එහිදී අදාළ අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස සංගමය එවකට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ද එම පදනම යටතේය. එහෙත් ඒ වෙනුවට සිදු වූයේ ප‍්‍රධාන ගණකාධිකාරී විසින් ඉදිරිපත් කළ විෂමාචාරයන් පිළිබඳව විමර්ශනය කිරීමට පියවර ගත් අමාත්‍යාංශ ලේකම්වරයා ඉවත් කිරීමයි. එයින් නොනැවතුන බලධාරීන් ප‍්‍රධාන ගණකාධිකාරීවරයා ද ස්ථාන මරු කරනු ලැබීය.

කෙසේ හෝ විමර්ශනයේ ප‍්‍රතිඵල අනුව අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය ධුරයෙන් ඉවත් කිරීමට තීරණය විය. නවීන් දිසානායක අමාත්‍යවරයාගේ ආගමනය සිදු වනුයේ මෙම වකවානුවේය.

අමාත්‍යවරයා රාජකාරියට වාර්තා කරන විටත්, අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ නිර්දේශය සහිත වාර්තාව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත ක‍්‍රීඩා ලේකම්වරයා විසින් යොමු කොට නොතිබිණි. අමාත්‍යවරයාට ඒ පිළිබඳව දුරකතන මගින් දන්වා සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙස වාර්තාව රාජ්‍ය පරිපාන අමාත්‍යංශයට යොමු වුවත් ධුරයෙන් ඉවත් කිරීමට ගතවූ කාලය මාස 3 කට අධික විය. දුෂණයට එරෙහි වූ අමාත්‍යවරයා සහ අමාත්‍යංශ නිලධාරීන් විමර්ශන වාර්තාව අනුව කටයුතු කළේ එසේය.

දුෂණ වංචා පිළිබඳව අද මාධ්‍ය ඉදිරියේ රඟ දක්වන අමාත්‍යවරයා හා අමාත්‍යංශ බලධාරීන්ගේ සැබෑව හෙළිවනුයේ මින් අනතුරුව වේ.

නව රජය බලයට පැමිණි පසු දුෂණවලට එරෙහිව කටයුතු කිරීම හේතු කොට ගෙන ස්ථාන මාරු කළ ප‍්‍රධාන ගණකාධිකාරීවරයා නැවත ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ස්ථාන මාරු කරන ලෙස මුදල් අමාත්‍යවරයා විසින් ද, මුදල් අමාත්‍යංශ ලේකම් විසින් ද, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට දැනුම් දීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඔහු පෙබරවාරි මස නැවත ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන ගණකාධිකාරී ධුරයට පත් කිරීම සඳහා ස්ථාන මාරු කරනු ලැබීය.

පෙබරවාරි මස 05 දින ක‍්‍රීඩා අමාත්‍යංශයේ සේවයට වාර්තා කළ ඔහුට 26 දින දක්වා රාජකාරි භාර ගැනීමට ඉඩ නොදෙන ලදී. ඒ වෙනුවට ලේකම්වරයාට හිතවත් නිලධාරියෙකු පත්කර ගැනීම අමාත්‍යංශ ලේකම්ගේ අදහස විය. අවම වශයෙන් ප‍්‍රධාන ගණකාධිකාරීවරයාට මාසික වැටුප හෝ ගෙවීමට මෙම ලේකම්වරයා කටයුතු නොකරන ලදී.

තමන්ට රාජකාරි බාර නොදීම පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත් කළ අවස්ථාවේදී, ක‍්‍රීඩා අමාත්‍යවරයා විදේශගතව සිට දුරකතන මඟින් තමා අමතා ස්ථාන මාරුව අවලංගු කරන ලෙස දන්වන ලද බව ලේකම්වරයා ප‍්‍රධාන ගණකාධිකාරීට දන්වා තිබිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ”සේවා අවශ්‍යතාවය” යන ලේබලය යටතේ ඔහුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ස්ථාන මාරු කරන ලදී. අමාත්‍යවරයාගේත්, අමාත්‍යංශ ලේකම්වරයාගේත් දුෂණයට අදාළ කෙරුවාව එසේ විය.

සේවා අවශ්‍යතාවය මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට 2015 පෙබරවාරි 20 දින ස්ථාන මාරු කළ ප‍්‍රධාන ගණකාධිකාරීවරයාට අමාත්‍යංශය තුළ කිරීමට රාජකාරියක් හෝ තනතුරක් පමණක් නොව, සේවයට වාර්තා කිරීමට අංශයක් හෝ මේ දක්වා නම් කර නොමැත.

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකු වූ ඒ මහතාට පසුගිය මාර්තු සහ අපේ‍්‍රල් මාස සඳහා වැටුප් හෝ මේ දක්වා ගෙවා නොමැත. වැටුප් ලබා ගැනීමට නම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පරිපාලන සේවයේ නිලධාරීන් අනුයුක්ත කරන සංචිතය නොහොත් ”පූල්” එකේ ඔහු අත්සන් කළ යුතු වේ. ක‍්‍රීඩා අමාත්‍යංශයේ දුෂණ වංචා පසුපස එළවමින් සිටින බව මාධ්‍ය ඔස්සේ ප‍්‍රදර්ශනය කරමින් සිටින අමාත්‍යවරයාගේ සහ බලධාරීන්ගේ ප‍්‍රකාශවල සැබෑ යථාර්ථය තේරුම් ගත යුත්තේ මෙම පසුබිම තුළදීය.

මෙම අසාධාරණ ක‍්‍රියාකලාපය පිළිබඳව සංගමය අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයා ලිඛිතව දැනුවත් කළ ද, ප‍්‍රතිචාරයක් නොමැත. ඒ වෙනුවට, අප සාමාජිකයන් විසින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ එළිදරව් කරගත් සහ විවිධ ආයතන තුළ විමර්ශන වෙමින් පවතින කරුණු ඇතුළත් කොට මෙලෙස මාධ්‍ය සංදර්ශන පැවැත්වීම අප සංගමය තරයේ හෙළා දකිනු ලැබේ. මෙය අනුන්ගේ දරුවන්ගේ උප්පැන්න සහතිකවලට තම පීතෘත්වය දමා ගැනීමට සමාන ක‍්‍රියාවකි. එබැවින් සංගමය ඉල්ලා සිටිනුයේ මාධ්‍ය සංදර්ශන නොපවත්වා, දුෂිතයන් එළිදරව් කළ අප සාමාජිකයන්ට සාධාරණයක් ඉෂ්ඨ කර දුෂිතයන්ට නිසි දඬුවම් පමුණුවන ලෙසයි.


අත්සන් කළේ

ඩබ්ලිව්. පී. එස්. කේ. ප‍්‍රනාන්දු
ව. බ. සභාපති
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය


අදහස් (0)

වංචා විමර්ශන වාර්තාව මාධ්‍ය සංදර්ශනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.