Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
-------------------
ශානුක අරවින්ද
-------------------
වසර 9 කට පසුව ආසියානු බොක්සිං ශූරතාවලියකදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට හොරණ විද්‍යාරතන ක්‍රීඩා සමාජයේ නදීකා පුෂ්පකුමාරි සමත් වූවාය. ඩුබාහිදී පැවැති 2021 ආසියානු බොක්සිං ශූරතාවලියේ ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතියේ කාන්තා ලෝකඩ පදක්කම දිනාගනිමින් ඇය මෙම හපන්කම කළාය.
වසර දෙකකට පෙර (2019 දී) නේපාලයේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදීද ෆ්ලියි බර පංතියේ කාන්තා ලෝකඩ පදක්කමට දිනාගැනීමට නදීකා සමත් වූවාය.
ලෝක ශූරතා ද්විත්වයකට හිමිකම් කියන කසකස්තානයේ නසීම් කිසයිබේ හමුවේ අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්වීම නිසා නදීකාට ෆ්ලයි බර පංතියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූවාය. ප්‍රබලතම ඉන්දීය ක්‍රීඩිකාවක වන, ලෝක ශූරතා 6 කට හිමිකම් කියන ඉන්දියාවේ මේරි කොම් පරාජය කරමින් එම බර පංතියේ රන් පදක්කම දිනාගනු ලැබුවේද නසීම් කිසයිබේ විසිනි.
ආසියානු කාන්තා බොක්සිං ශූරතාවලිය 2001 වසරේදී ආරම්භ වූ අතර 2019 වසරේ සිට එය ආසියානු පිරිමි බොක්සිං ශූරතාවලිය සමග එ්කාබද්ධව පැවැත්විණ.
ආසියානු බොක්සිං ශූරතාවලියන්හිදී මේ දක්වා ලෝකඩ පදක්කම් 7 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වී ඇති අතර ඉන් අවසන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිවූයේ 2012 වසරේදීය. ශ්‍රී ලංකා පොලිසියේ ශිරෝමාලි වීරරත්න 2012 දී එම ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නාය.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ සිව්දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ තිදෙනෙක් සහභාගි වූහ. එහෙත් නදීකා හැරුණු කොට තරග වැදුණ බර පංතිවල අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට හැකිවූයේ ක්‍රීඩකයන් දෙදෙනකුට සහ ක්‍රීඩිකාවකට පමණි.
ඉකුත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙදී ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතියේ රිදී පදක්කම දිනාගත් විද්‍යාරතන ක්‍රීඩා සමාජයේ කේ.වී.එල්. එරන්ද, මෙම තරගාවලියේදී එම බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණියේය. එහෙත් ඉතා තියුණු තරගයකින් අනතුරුව කසකස්තානයේ සකේන් බිබෝසිනොව් හමුවේ පරාජය වීම හේතුවෙන් ඔහුට පදක්කමක් කරා යෑමට නොහැකි විය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ රුක්මල් ප්‍රසන්නද බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි අතර පිලිපීනයේ ජුන්මිලර්ඩෝ ඔගයිරේ හමුවේ පරාජයට පත් විය.
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතිය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා පොලිසියේ රෂ්මිකා ඉලංගරත්නද අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි අතර එහිදී උස්බැකිස්තානයේ ගුල්සාල් සුල්තොනලීවා හමුවේ පරාජයට පත් වූවාය.
දින 8 ක් පුරා ඩුබායිහිදී පැවැති මෙම තරගාවලිය සඳහා ආසියානු රටවල් 20 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 187 ක් සහභාගි වූහ. තරගාවලිය අවසානයේ රන් පදක්කම් 6 ක් දිනූ උස්බෙකිස්තානය පිරිමි පදක්කම් සටහනේ පෙරමුණ ගනිද්දී, රන් පදක්කම් 8 ක් දිනූ කසකස්තානය කාන්තා පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේය.
තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (2 වැනිදා) යළි දිවයින කරා පැමිණීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.