Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවේ අර්බුදයෙන් කබඩි වෙන්දේසියට පරණ ලැයිස්තුවක්

ශ්‍රී ලංකාවේ අර්බුදයෙන් කබඩි වෙන්දේසියට පරණ ලැයිස්තුවක්

editorial - 2024 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මෙම වසරේදී තායිලන්තයේ  රාබී නුවරදී  පවත්වා අවසන් කිරීමට නියමිත ලෝක සුපිරි කබඩි ලීග් (පිරිමි) තරගාවලියේ ක්‍රීඩකයන්ගේ වෙන්දේසියට මෙරට ක්‍රීඩකයන් 10 දෙනකු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී තිබේ.ඒ  සදහා  ජාත්‍යන්තර කබඩි සම්මේලනයේ නිර්දේශය ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.

ජාත්‍යන්තර වෘත්තීය මට්ටමේ කබඩි තරගාවලියක වෙන්දේසියකට ශ්‍රී ලංකාවෙන් මෙතරම් ක්‍රීඩකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙය වන බව සදහන් වේ.

දැනට ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ජාත්‍යන්තර සබදතා නිලධාරී, හා සම්මේලනයේ  හිටපු සභාපති අනුර පතිරණ මහතා පැවැසුවේ ඒ සදහා මෙරට ක්‍රීඩකයන් 15 දෙනකුගේ ලැයිස්තුවක් තායිලන්ත තරග සංවිධායකයන් වෙත මේ වන විටත් යොමු කර අවසන් බවයි.

කෙසේවූවත් මෙරට කබඩි ප්‍රධානීන් එහිදී මුහුණදී තිබෙන බරපතල  ප්‍රායෝගික ගැටළුවක් හේතුවෙන් එහිදී තායිලන්තයට යවා ඇත්තේ  මෙරට ක්‍රීඩකයන්ගේ පරණ ලැයිස්තුවක් බවද වාර්තාවේ.

එහිදී කබඩි සම්මේලනය ඊට විසදුමක් ලෙස වෙන්දේසියට යවා ඇත්තේ මෙම වසරේ මැයි 26 වැනිදා සිට ජූනි 3 වැනිදා දක්වා බංග්ලාදේශයේ  ඩැකා නුවරදී පැවැති බංගබන්දු කුසලාන කබඩි (පිරිමි) තරගාවලියට සහභාගි කළ 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායම  ඇතුළත් නාම ලේඛනයයි.

මෙහි ආසන්නතම සිදුවීම වන්නේ  තේරීම් තරගාවලියක් මුල් කර ගනිමින් මේ වන විට ජාතික කබඩි තේරීම් කමිටුව ශ්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් තාවකාලිකව තහනමට ලක් කර තිබීමයි. වෙරළ කබඩි තේරීම් තරග පරික්ෂණයකදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා කීපයක් මුල් කර ගනිමින් මෙම තහනම කමිටුවට පනවා තිබේ.

ඒ අතර ඒ සම්බන්ධයෙන් ක්‍රීඩකයකු කරන ලද පැමිණිල්ලක් ද ක්‍රීඩා වැරදි  සෙවීමේ විශේෂ පොලිස් ඒකකය විසින් විභාග කරමින් පවතින තත්වයක් තුළ කබඩි තේරීම් කමිටුව සම්බන්ධයෙන්   තීරණයක් ගැනීමට නොහැකි තත්වයක් තවදුරටත් උදාවී තිබේ.

ඒ හේතුවෙන් තායිලන්ත වෘත්තීය  ලෝක කබඩි තරගාවලියේ යෝජිත ක්‍රීඩක වෙන්දේසිය සදහා අළුතෙන් තේරීම් සිදු කිරීමට නොහැකිවී තිබේ.ඒ හේතුවෙන් බංගබන්දු (2024) තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමේ ක්‍රීඩකයන් 12 දෙනාට අමතරව ඊට නිර්දේශවූ අතිරේක ක්‍රීඩකයන් තිදෙනාද  වෙන්දේසියට යොමු කිරීමට ශ්‍රී ලංකා කබඩි සම්මේලනය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව හැරෙන්නට කොරියාව හා මැලේසියාවටද තායිලන්ත ලෝක සුපිරි කබඩි තරගාවලියේ වෙන්දේසියට ක්‍රීඩකයන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සළසාදීමට අන්තර්ජාතික කබඩි සම්මේලනය පියවර ගෙන තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකාවේ අර්බුදයෙන් කබඩි වෙන්දේසියට පරණ ලැයිස්තුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.