Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඔරු පැදීමේ ඉසව්වට සහභාගිවී සිටි මහේෂ් ජයකොඩි
(ඡායාරූපය - ජාතික පැරලිම්පික් කමිටුවේ අනුග්‍රහයෙනි)
(නාමල් පතිරගේ)
ජපානයේ ‘ටෝකියෝ’ නුවරදී දැන් පැවැත්වෙන ගිම්හාන පැරලිම්පික් උළෙලට අද (27) තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තිදෙනාම මූලික වටයේදීම පරාජයට පත්වූහ. එසේ වුවත් ඔරු පැදීම ඉසව්වේ තරග නීති රීති අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක මහේෂ් ප්‍රියමාල් ජයකොඩිට සිය ඉසව්වේ තවත් ඉදිරියට යාමේ අවස්ථාවක් හිමිව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රියමාල් ජයකොඩි හෙට (28) දිනයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8ට තරග නීති රීති අනුව හිමිවන දෙවැනි වටයට තරග වදියි. 34 හැවිරිදි ජයකොඩි පැරලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔරු පැදීම ක්‍රීඩා ඉසව්වට සහභාගි වූ ක්‍රීඩකයාය.
මීටර 1000 කේවල - ඉනෙන් පහළ අප්‍රාණික (පිරිමි) ඉසව්වේ අද දෙවැනි මූලික වටයට ජයකොඩි තරග වැදුණේ එහි මෙතෙක් ලොව හොඳම කාලය වාර්තා කර තිබෙන යුක්රේනයේ රොමාන් පොලියාන්ස්ති ඇතුළු ඇමරිකාව හා බ්‍රිතාන්‍ය යන ප්‍රබල රටවල් හයක ක්‍රීඩකයන් සමගය. එහිදී විශිෂ්ට දස්කම් දැක්වූ රොමාන් ශ්‍රී ලංකා ක්‍රීඩක ජයකොඩිට වඩා (විනාඩි 12 තත්පර 16.80) විනාඩි 2 තත්පර 20.33කින් (විනාඩි 9 තත්පර 56.47) තරගයේ ජයග්‍රාහකයා වූයේ මෙතෙක් පැරලිම්පික් තරග හොඳම කාලය ද අලුත් කරමිනි. රොමාන්ගේ හොඳම කාලය වන්නේ විනාඩි 9 තත්පර 12.99 කි.
බ්‍රසීලයේ රෙගා ෆෙරෙයිරා අද විනාඩි 9 තත්පර 57.59කට පිහිටුවා තිබූ මෙතෙක් පැරලිම්පික් හොඳම කාලය ද ඒ අනුව පැය කිහිපයක් තුළ බිඳ දැමීමට මෙහිදී රොමාන් දැක්වූ දස්කම් අපූරුය.
මේ අතර ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාර ක්‍රිඩකයන් 31 දෙනකු අතරින් 23 වැනි ස්ථානය ලැබුවේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වෙමිනි.
සම්පත් බණ්ඩාර පසුගිය රියෝ (2016) ඔලිම්පික් උළෙලේදී ඉසව්වෙන් 17 වැනි ස්ථානය ලද ක්‍රීඩකයායි.
මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ඉරාන ක්‍රීඩක ගොලාමර්සා රහිම් ලකුණු 644ක් ඔහුගේ මෙතෙක් හොඳම දක්ෂතාවය ලබාගනිමින් දෙවැනි වටයට ඉහළින්ම ප්‍රවේශ විය.
එහිදී 23 වැනි ස්ථානයට පත් සම්පත් බණ්ඩාරගේ ප්‍රසාද ලකුණු ගණන වූයේ 589 කි. බණ්ඩාර මීට පෙර ලෝක ශූරතා තරගාවලි දෙකකට ද සහභාගි වූ 34 හැවිරිදි අත්දැකීම් පිරිපුන් ක්‍රීඩකයෙකි. කෙසේ වුවත් ඉරානයේ රහිම් මෙම ඉසව්වේ රියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් ලාභියාද වන 43 හැවිරිදි ක්‍රීඩකයෙකි.
ටෙනිස් රෝද පුටු (පිරිමි - පාද ආබාධ හෝ සමතුලිතාවය බිඳ වැටීම) ඉසව්වේ මූලික වටයේ තරගයෙන් චිලී රාජ්‍ය ක්‍රීඩක ඇලෙක්සැන්ඩර් තැටෙල්ඩෝ හමුවේ වට 2-0ක පරාජයක් ලද ශ්‍රී ලංකා ක්‍රීඩක යුරේෂ් ධර්මසේනගේ ගමන එතැනින් නිමාවට පත්විය. ඇලෙක්සැන්ඩර් එහිදී ලකුණු 6-3 ක් හා 6-4 ක් ලෙස පරාජයට පත්විය. එහිදී පළමු වටය විනාඩි 28ක් හා දෙවෙනි වටය විනාඩි 37 ක් පැවැත්විණ.
පැරලිම්පික් තරග පළමු අත්දැකීම් ලද ධර්මසේන පැරා ආසියානු ක්‍රීඩා උළෙලේදී යුගල (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කමකට දායක වූවෙකි.
ටෝකියෝ පැරලිම්පික් උළෙලේ අද තෙවැනි දිනය නිමාවනවිට චීනය රන්පදක්කම් 20ක් දිනා පෙරමුණ ගෙන සිටියේය. දෙවැනි තැනට ඒ වනවිට පත්ව සිටි බ්‍රිතාන්‍යය රන් පදක්කම් 9 ක් දිනා සිටියේය. ඒ වනවිට රුසියානු ඔලිම්පික් කමිටුවද ඔවුන්ට තියුණු සටනක් දෙමින් තෙවැනි තැනට පත්ව සිටියේද රන් පදක්කම් නවයක එකතුවෙනි.
පැරලිම්පික් ක්‍රීඩා උලෙලේ මේ දක්වා තරග පැවැති දින 3 දී රටවල් 44ක් පදක්කම් දිනා සිටින අතර රන් පදක්කම් ලද රටවල් ගණන 25ක් විය. අද දිනය අවසන් වන තුරුත් ශ්‍රී ලංකාව නියෝජනය කරන දකුණු ආසියාවේ සෙසු කිසිදු රටක් පදක්කම් දිනා ගැනීමට අපොහොසත්වී තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.