Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ස්ටෑන්ඩඩ් පාපැදි තරග සම්මේලනය යටතට

ස්ටෑන්ඩඩ් පාපැදි තරග සම්මේලනය යටතට

නාමල් පතිරගේ - 2020 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 (++ නාමල් පතිරගේ)

ස්ටෑන්ඩඩ්  (විවෘත) පා පැදි තරග සඳහා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අනුමැතිය ලබා ගැනීම මෙතැන් සිට අනිවාර්ය කර තිබේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා ‘ලංකාදීප’යට පැවසුවේ එය බලාත්මක කිරීම සාර්ථක කර ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේද සහයෝගය ලබා ගන්නා බවයි.

මෙතෙක් පාපැදි සම්මේලනයේ ලියාපදිංචිය අනිවාර්ය කර තිබුණේ රේසින් (මාර්ග) පාපැදි තරග සඳහා පමණි. ඒ අනුව ඕනෑම තරගකරුවකුට සහභාගී විය හැකි ස්ටෑන්ඩඞ් (විවෘත) පාපැදි තරගද සම්මේලනයේ ලියාපදිංචිය අනිවාර්ය කර තිබේ. මෙතැන් සිට ස්ටෑන්ඩඞ් පාපැදි තරග සංවිධානය කිරිමේදී පාපැදි සම්මේලනය ඒ සඳහා හඳුන්වාදී තිබෙන නිල රෙගුලාසි පිළිපැඳීමට තරග සංවිධායකයන්ට සිදු වනු ඇත.

ස්ටෑන්ඩඞ් විවෘත තරග පැවැත්වීමේදී ඒ සඳහා විනිසුරු හා තීරක මඬුල්ල නිර්දේශ කරන්නේ පාපැදි සම්මේලනය විසිනි. එම සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ සභාපති උපුල් චන්දන ප්‍රියානත් මහතාගේ අධීක්ෂණයෙන් සකස් කළ තාක්ෂණික අනු කමිටුවේ යෝජනා යටතේ ඒ පිළිබඳව සඳහන් වන්නේ ස්ටෑන්ඩඞ් පාපැදි තරග වල ගුණාත්මක භාවය හා ඉහළ ප්‍රමිතිය රැක ගැනිම සඳහා නව යෝජනා ක්‍රියාත්මක කෙරෙන බවයි.

පාපැදි සම්මේලනය අනුමත නොකළ බලපත්‍රලාභීන් නොවන විනිසුරුවන් ජාතික මට්ටමේ ස්ටෑන්ඩඞ් පාපැදි තරග මෙහෙයවීමේදී ඇතිවන අඩුපාඩුකම් නව රෙගුලාසි තුළින් අවම කර ගැනිමට හැකිවනු ඇතැයි උපුල් චන්දන ප්‍රියනාත් මහතා වැඩිදුරටත් පැවසීය.

සභාපති කරුණාරත්න මහතා පැවසුවේ විවෘත තරග ලෙස ජාතික මට්ටමෙන් පවත්වන සිංහල අවුරුදු පාපැදි තරග සඳහා ද නව නියාමනයන් බල පැවැත්වෙන බවයි. කෙසේ වුවත් දිස්ත්‍රික් හා ආධුනික ස්ටෑන්ඩඞ් පාපැදි තරග මෙහෙයවීමේ අවස්ථාව තවදුරටත් දිස්ත්‍රික් පාපැදි සංගම් හා ක්‍රීඩා සමාජ වෙත හිමිව ඇතැයිද ඔහු අවධාරණය කරයි. එහිදී දිස්ත්‍රික් තරගයක් නම් ඒ සඳහා අදාල දිස්ත්‍රික් පාපැදි සංගමයේ අධික්ෂණයෙන් හා ඔවුන්ගේ අනුමැතිය ලද විනිසුරු මඬුල්ලක් මගින් එය සංවිධානය කිරීමට තරග සංවිධායකයන්ට අවස්ථාව හිමි වේ.

දිස්ත්‍රික් හා ආධුනික තරග සඳහා තරගකරුවන් සහභාගී කර ගත යුතු ආකාරය ද පාපැදි තාක්ෂණික කමිටුව දැනුවත් කර තිබේ. පෙර වසර දෙකක කාලයක පැවැති පාපැදි තරගයක ජයග්‍රාහකයා වී නොමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් අනුමත ආධුනික තරග සඳහා සහභාගී විය හැකිය.

පා පැදි තාක්ෂණික අනු කමිටුවේ නිර්දේශ

● ප්‍රදේශයකට නගරයකට ආයතනයකට සීමා වන තරග සහන ගාස්තුවක් යටතේ        ලියාපදිංචි කිරීම හා අවම විනිසුරුවන් පස්දෙනකුගේ සේවය ලබා ගැනිම සහ ඒ සඳහා ඇල්මක් දක්වන ආධුනිකයන්ටත් අවස්ථාව ලබා දීම.

● වයස 70 ඉක්ම වුවන්ට විනිසුරු බලපත්‍රය නිකුත් නොකිරීම.

● සම්මේලනයේ නිල තරග දින දසුනට තරග ලියාපදිංචි කිරීමේදී ගාස්තුවක් අය කර විධිමත්ව තරගය පවත්වා අවසන් වීමෙන් පසුව එය නැවත තරග සංවිධායකයන්ට ලබා දීම.

● පාසල් (නිවාසාන්තර)  තරග සඳහා දිස්ත්‍රික් සංගම්වල දායකත්වය ස්වේච්ඡා සේවයක් ලෙස ලබා දීම.

● සම්මේලනයේ නිර්දේශිත අදියර තරග සඳහා අවම විනිසුරුවන් 20 දෙනකුගේ (කාන්තා තරග සඳහා 15 දෙනකුගේ) සේවය ලබා ගැනීම හා ඔවුන්ට අනුමත දීමනා ගෙවීම.

● එක් දින පිරිමි තරගයක් නම් අවම විනිසුරුවන් 15 දෙනකු හා එක් දින කාන්තා තරගයක් නම් අවම විනිසුරුවන් 10 දෙනකුගේ සේවය ලබා ගැනීම හා ඔවුන්ට අනුමත දිමනා ගෙවීම.

● දිස්ත්‍රික් තරග පැවැත්වීමේදී කාන්තා හා පිරිමි කාණ්ඩ දෙකම පැවැත්වෙන්නේ නම් අවම විනිසුරුවන් 15 දෙනකු හා පිරිමි තරග පමණක් නම් අවම විනිසුරුවන් 12 දෙනකු සහභාගී කර ගැනීම.


අදහස් (0)

ස්ටෑන්ඩඩ් පාපැදි තරග සම්මේලනය යටතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.