Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සෙරීනාගේ බලාපොරොත්තු නැවතත් සුන්වෙයි

සෙරීනාගේ බලාපොරොත්තු නැවතත් සුන්වෙයි

editorial - 2021 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසිඑක් හැවිරිදි රුසියානු ක්‍රීඩිකා එලීනා රයිබැකිනා හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ඇමරිකාවේ සෙරීනා විලියම්ස්ට ඊයේ (6 වැනිදා) ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ඒ සමගම ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩිකාව ලෙස ඕස්ට්‍රේලියා‍වේ මාගරෙට් කෝට්ගේ වාර්තාව සම කිරීමට තිබූ තවත් අවස්ථාවක් සෙරීනාට මඟහැරිණ.

මේ දක්වා ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 7 ක්, විම්බල්ඩන් ශූරතා 7 ක්,  ඇමරිකානු විවෘත ශුරතා 6 ක් සහ ප්‍රංශ විවෘත ශූරතා 3 ක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23 කට හිමිකම් කියන සෙරීනා, මේ වන විට එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභිනිය වන ඕස්ට්‍රේලියාවේ මාගරෙට් කෝට්ට වඩා එක් ශූරතාවක් පසුපසින් සිටින්නීය. ‍

කෙසේ වුවත් මැටි පිටි තරගවලදී සෙරීනාගේ තරග වාර්තා එතරම් යහපත් නොවන අතර අවසන් වරට ඇය ප්‍රංශ විවෘත ශූරතාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ 2016 වසරේදීය. තෙවරක් (2002, 2013, 2015) ප්‍රංශ විවෘත ශූරතාවට හිමිකම් කී සෙරීනා, 2018 වසරේදී මවු පදවිය ලැබීම සඳහා තාවකාලිකව තරග බිමෙන් ඉවත් වූ ‍අතර 2016 වසරේ සිට මෙම වසර දක්වාම ‍එහි සිවුවැනි වටයෙන් ඉදිරියට ගොස් නොමැත.

සෙරීනාට එරෙහිව පැවැති තරගයේ පළමු වටය ලකුණු 6-3 ක් ලෙස පහසුවෙන්ම ජය ගැනීමට එලීනා රයිබැකිනා සමත් වූ නමුත්, ‍තරමක් තියුණු ස්භාවයක් ගත් දෙවැනි වටයේදී ඔවුන් දෙදෙනාම කරට කර සටනක නිතර වූහ. එහෙත් එම වටයෙන්ද ලකුණු 7-5 ක ජයක් ලැබූ රයිබැකිනා, මෙවර තරගාවලියෙන් සෙරීනාව ඉවතට ඇද දැමුවේ ඇගේ බලාපොරෝත්තු සුන් කරමිනි.

ඒ අනුව සෙරීනාට තම ඉලක්කය කරා යෑමට මේ මස 28 වැනිදා ආරම්භවන විම්බල්ඩන් ශූරතාවලිය දක්වා බලා සිටීමට සිදුවනු ඇත.

මේ වන විට 39 වැනි වියේ පසුවන සෙරීනා 2017 වසරේ පැවැති ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියෙන් පසුව මේ දක්වාම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනා නොමැත‍. විවිධ හේතුන් මත ප්‍රබල ක්‍රීඩිකාවන් රැසකගේ ඉවත්වීම මෙවර ප්‍රංශ විවෘත තරගාවලියේ ශූරතාව කරා යෑම සඳහා සෙරීනාට මඟ එළි පෙහෙළි කර දුන්නද එහි ගමනාන්තය දක්වා යෑමට ඇය අසමත් වූවාය.

කෙසේ වුවත් ආබාධයක් නිසා ප්‍රංශ විවෘත තරගාවලියෙන් ඉවත් වූ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ඕස්ට්‍රේලියා‍වේ ඈෂ්ලි බාටි සහ මානසික සෞඛ්‍ය හේතු මත ඉන් ඉවත් වූ ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි ස්ථානයේ පසුවන ජපානයේ නයෝමි ඔසාකා ඇතුළු ප්‍රබල ක්‍රීඩිකාවන් රැසක් එළබෙන විම්බල්ඩන් ශූරතාවලියට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන් පසුවීම සෙරීනාගේ ඉලක්කය තවත් අසීරු එකක් බවට පත්කරනු ඇත.

“මම හුගක් උත්සාහ කළා. නමුත් මගෙ අතින් සුළු සුළු වැරදි කිහිපයක් සිදුවුණා. මුලු තරගයම වෙනස් කරන්න තරම් ඒ වැරදි බලපෑවා. ඇය (රයිබැකිනා) එම වැරදිවලින් ප්‍රයෝජන ගත්තා. ඒ ගැන මම කණාගාටු වෙනවා. නමුත් මම දැන් වැඩියෙ ඒ ගැන හිතන්න යන්නේ නෑ. ඉදිරියේදී ඊට වැඩියෙ අවධානය යොමුකරන්න දෙවල් මට තියෙනවා.” යැයි පරාජයෙන් අනතුරුව සෙරීනා පැවසූවාය.


-036


අදහස් (0)

සෙරීනාගේ බලාපොරොත්තු නැවතත් සුන්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.