Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හිටපු පාපැදි සභාපතිගේ තහනම ඇමැති අණින් ඉවතට

හිටපු පාපැදි සභාපතිගේ තහනම ඇමැති අණින් ඉවතට

editorial - 2025 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා ඇතුළු එහි හිටපු නිලධාරීන් තිදෙනකුට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පනවා තිබූ ජීවිතාන්තය දක්වා වූ තහනම ඉවත් කිරීමට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා නියෝග කර තිබේ.

මෙසේ ඇමැති නියමයෙන් තහනම ඉවත් කළ සෙසු නිලධාරීන් වන්නේ කරුණාරත්න මහතා පාපැදි සම්මේලනයේ සභාපති ධූරය දැරූ නිල කාලයේදී එහි ප්‍රධාන ලේකම් ධූරයේ කටයුතු කළ නිහාල් කුලසේකර හා භාණ්ඩාගාරික ධූරය දැරූ සේනක රණසිංහ යන මහත්වරුය.

පාපැදි සම්මේලනයේ සිය නිල කාලයේ විගණන වාර්තා (2018 - 19) ඉදිරිපත් කිරීමට අපොහෝසත්වීමේ චෝදනාවලට වැරදිකරුවන් කරමින් ඔවුන්ට එතැන් පටන් කිසිදු ජාතික ක්‍රීඩා සංගමයක තනතුරු දැරීම ජීවිතාන්තය දක්වා තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය වසර 2020 සිට මෙම තහනම ඔවුන්ට එරෙහිව පනවා තිබුණි.

අදාළ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් මෙම නිලධාරීන්ගේ තහනම ඉවත් කළ බව මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එන්. කරුණාරත්න මහතා දකුණු ආසියාවේ දැනට සිටින එකම අන්තර් ජාතික පාපැදි විනිසුරුවරයාද වන අතර, ආසියානු පාපැදි සම්මේලනයේ වත්මන් ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙසත් කටයුතු කරයි.

 ඉහත සිදුවීමේදී කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන්ට දඬුවම් පැමිණිවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළ ආකාරය පිළි නොගත් අන්තර් ජාතික පාපැදි සම්මේලනය හා ආසියානු සම්මේලනය අද දක්වාම සිය නිල වෙබ් අඩවිවල ශ්‍රී ලංකාවේ පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස දක්වා ඇත්තේ එන්. කරුණාරත්න මහතාය.

ජාතික ඔලිම්පික් කමිටුවද ඔහුට තිබෙන එම පිළිගැනීම මෙතෙක් නිල වශයෙන් ඉවත් කර නැත.

 මේ අතර මෙම නිලධාරීන් තිදෙනාට එරෙහිව රුපියල් ලක්ෂ 56 ක් වටිනා පාපැදි සම්මේලනය සතු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් එවකට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පවරා තිබූ නඩුවක් පසුගිය සදුදා (20) නැවැත කැදවූ කොළඹ දිසා අධිකරණය ඒ සම්බන්ධයෙන් විමර්ෂණ කඩිනම් කරන ලෙස කුරුදුවත්ත පොලිසියට නියම කළේය.

මෙම නඩුව නැවැත ලබන අප්‍රේල් 28 වැනිදාට කැදවීමට නියමිතය. ඒ අතර ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබුණු බව කියන වොට් (පුහුණු) පාපැදි දෙකක් අල්ලස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් හා ඊට තරග පාවාදීමේ චෝදනාවක්ද අන්තර් ගත කරමින් මීට ඉහත අවස්ථාවකදී තවත් පොලිස් පැමිණිල්ලක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉදිරිපත්වී තිබුණි.

 එහෙත් එය තමන් ශ්‍රී ලංකාවට කළ ප්‍රදානයක් බැවින් ශ්‍රී ලංකාවේ ඉහත නිලධාරීන්ට එල්ල කළ අල්ලස් හා තරග පාවාදීමේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් අන්තර් ජාතික පාපැදි සම්මේලනය එහිදී නිල නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළේය.

 


අදහස් (0)

හිටපු පාපැදි සභාපතිගේ තහනම ඇමැති අණින් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.