Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඉරණම විධායක කමිටුව අතේ

ඉරණම විධායක කමිටුව අතේ

Nisanka Sandeepani - 2018 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ 2018-2019 නිලවරණයේදී සභාපති ධූරය සඳහා ඉදිරිපත් වී සිටින ලලිත් ලියනගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද සහතිකයේ වලංගුභාවය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා විධායක කමිටු රැස්වීමක් කැඳවීමට මේසපන්දු සංගමය පියවර ගෙන ඇතැයි ‘ලංකාදීප’යට වාර්තා වේ. මේසපන්දු ක්‍රීඩාවෙන් තමන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති බවට සාක්ෂි ලෙස ලලිත් ලියනගේ මහතා විසින් සහතිකයක් ඉදිරිපත් කර තිබේ. 

14 වැනි ඉරිදා පස්වරු 4.00 ට ක්‍රීඩා අමාත්‍යංශයේ පැරණි ගොඩනැගිල්ලේ මේසපන්දු කාර්යාලයේදී පැවැත්වෙන මෙම විධායක කමිටු රැස්වීමට මේසපන්දු සංගමයේ නිලධාරීන් 11 දෙනාට අමතරව එහි අනු සංගම් සහ ක්‍රීඩා සමාජ 19 ක නියෝජිතයකු බැගින් සහභාගි වීමට නියමිතය. විධායක කමිටුවේ උපරිම සාමාජිකයන් සංඛ්‍යාව 30 කි. 

මේසපන්දු සංගමයේ විධායක කමිටුවට එහි අනු සංගම් සහ ක්‍රීඩා සමාජ 20 ක් ඇතුළත්ව සිටි නමුත් ලලිත් ලියනගේ මහතා සභාපතීත්වය දරන ‘ස්ටැග්’ මේසපන්දු ක්‍රීඩා සමාජය, විධායක කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති නිසා එම සංගමයේ නියෝජිතයකුට මෙම විධායක කමිටු රැස්වීමට සහභාගි වීමට අවස්ථාවක් හිමි නොවන බව සංගමයේ ලේකම් කසුන් විතාන මහතා පවසා සිටියි. 

2017 වසරේ ඔක්තෝබර් මාසයේදී චතුර ජයේන්ද්‍ර මහතා ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ වැඩ බලන සභාපතිවරයා ලෙස වැඩ බාරගැනීමත් සමග ලියනගේ මහතා සංගමයේ ක්‍රියාකාරී සාමාජිකත්වයෙන් ඉවත්ව ඇති බව කියැවේ. එසේ වුවත් මතභේදයට තුඩුදුන් සහතිකයේ හිමිකරුවා වන ලලිත් ලියනගේ මහතා, සංගමයේ උප සභාපතිවරයකු ලෙස එම විධායක කමිටු රැස්වීමට සහභාගි වීමට සූදානමින් සිටන බවද දැනගන්නට ලැබේ. 

විධායක කමිටු රැස්වීමේදී ලියනගේ මහතාට සහාය දෙන ලෙස රැස්වීමට සහභාගි වීමට සූදානමින් සිටින සංගමයේ නිලධරීන්ට මෙන්ම අනු සංගම් සහ ක්‍රීඩා සමාජවල නියෝජිතයන්ට දුරකථන ඇමතුම් ලැබෙමින් තිබෙන බවද වාර්තා වේ. ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීන මේසපන්දු පුහුණුකරුවකු සහ ප්‍රවීන ක්‍රීඩකයකුද ලියනගේ මහතාට සහාය පළකිරීම සඳහා ඉදිරිපත් වී තිබේ. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ වැඩබලන සභාපති චතුර ජයේන්ද්‍ර මහතාගෙන් සහ ලේකම් කසුන් විතානගේ මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඔවුන් දෙදෙනාම ඒකමතිකව පවසා සිටියේ සහතිකයේ වලංගුභාවය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විධායක කමිටු රැස්වීමේදී ඡන්දයක් නොපවත්වන බවයි. රැස්වීමට සහභාගිවන නියෝජිතයන් සමග සාකච්ඡා කර සහතිකයේ වලංගුභාවය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළෙබෙන බවද එහිදී ඔවුහු පැවසූහ. 

“තේරීම් කමිටුවකින් තෝරගෙනත් නැත්නම්, තේරීම් තරගාවලියකට සහභාගි වෙලත් නැත්නම්, ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබිලත් නැත්නම් කොහොමද ශී ලංකාව නියෝජනය කළා කියන්නේ.... ඕනම කෙනෙකුට සහභාගි වෙන්න පුලුවන් ජාත්‍යන්තර තරගාවලියකදි ක්‍රීඩා සමාජයක් නියෝජනය කරලා, කෙනෙක් කියනවා නම් තමන් ලංකාව නියෝජනය කළා කියලා මම නම් කීයටවත් ඒකට එකඟ වෙන්නේ නෑ. ” යැයි මේස පන්දු සංගමයේ වැඩබලන සභාපති ජයේන්ද්‍ර මහතා පැවසීය. 

සහතිකය නිකුත් කර ඇති ප්‍රවීනයන්ගේ මේසපන්දු ක්‍රීඩා සංගමයම එය ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙන් නිකුත් කළ සහතිකයක් නොවන බව සනාථ කරන බැවින් තමන්ද එම තීරණය සමග එකඟවන බව කසුන් විතාන මහතා කියා සිටියේය. 
මෙම සහතිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මේසපන්දු සංගමය විධායක කමිටු රැස්වීමේදී ගන්නා තීරණය මත ලියනගේ මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇත. 

 


අදහස් (0)

ඉරණම විධායක කමිටුව අතේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.