Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඔලිම්පික් කමිටු නිලවරණය කල් යන ලකුණු

ඔලිම්පික් කමිටු නිලවරණය කල් යන ලකුණු

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නව ක්‍රීඩා රෙගුලාසි කීපයක යළි වෙනස්කම් කෙරෙන නිසාත් ජාතික ඔලිම්පික් කමිටුවේ සංශෝධිත ව්‍යවස්ථාවට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිල අනුමැතිය මෙතෙක් නොලැබීම නිසාත් ක්‍රීඩා ඇමැතිවරයා උපදෙස් ලබාදුන් පමණින් ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය වහා කැඳවිය නොහැකි බව එම කමිටුව අවධාරණය කරයි.

ඊට පෙර තවත් සම්පූර්ණ කළ යුතු වැඩ කොටසක් තිබෙන බැවින් ජාතික ඔලිම්පික් කමිටුවේ  නිලවරණය කැඳවීම අවම තවත් මාස දෙකකට වැඩි කාලයක් ගත වනු ඇතැයි එහි ප්‍රකාශකයකු ‘ලංකාදීප’යට පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉකුත්දා සංචාරයක නිරත වූ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභිකයකුවන හයිඩර් ෆාමර් මහතා සමග සාකච්ඡාවකට සහභාගි වූ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීප’යට පැවසුවේ ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුවේ නිලවරණය දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතින නමුත් එය වහාම කැඳවීම සඳහා හයිඩර් මහතා එකඟතාවය පළකර සිටි බවයි.

කෙසේ වුවත් ජාතික ඔලිම්පික් කමිටුවේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නීති උපදේශකවරයාට මීට සති කීපයකට පෙර යොමු කළ එහි සංශෝධිත ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට  ප්‍රතිචාර දක්වා නොමැති බවයි.

ඒ අතර ගැසට් කළ නව ක්‍රීඩා රෙගුලාසි මාලාවේ වගන්ති දෙකක් නැවැතත් සංශෝධනය කිරීමට ගෙන තිබෙන අඛණ්ඩ තීරණය හමුවෙත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම තවදුරටත් පමා වන ලකුණු පළවී තිබේ.

වසර 70ට වැඩි පුද්ගලයන්ට ජාතික ක්‍රීඩා සංගම් තනතුරු දැරීම තහනම් කිරීම හා ජාතික ක්‍රීඩා සංගම් තනතුරු දරන්නන්ට වසර හතරක් නොඉක්මවන කාලසීමාවක් සඳහා ධුර දැරිය යුතුයි යන නව වගන්ති දෙක සම්බන්ධයෙන් එල්ල වී තිබෙන විරෝධතා හමුවේ එම වගන්ති නැවත වෙනස් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය එකඟතාවය පළ කර සිටියේය.

මේ අතර සියලු ජාතික ක්‍රීඩා සංගම් ඔලිම්පික් ප්‍රඥප්තියට අනුකූලව සිය ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට ක්‍රීඩා අමාත්‍යාශය නියම කර තිබුණි.

එම නියමයට අනුව විශේෂ මහ සභාවක් කැඳවා නව ව්‍යවස්ථාව අනුමත කර  ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය වැඩිදුරටත් උපදෙස් දී තිබේ. ඒ අනුව යමින් ජාතික ක්‍රීඩා සංගම් කීපයක් පසුගිය දිනවල විශේෂ මහ සභා රැස්වීම පැවැත්වීමට කටයුතු කර තිබේ. පසුගිය ඉරිදා (18) විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට පියවර ගත් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය කරුණු හතක් නැවත ප්‍රතිසංශෝධනය කිරීමට යටත්ව එහි නව ව්‍යවස්ථාව අනුමත කර ගත් බව වාර්තාවේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අවසන් වරට වසර 2009 සැප්තැම්බර්  මාසයේදී පවත්වා තිබේ. එයින් පසු වසර 2013 පෙබරවාරි 27 වැනිදා එහි නිලවරණය නැවත කැඳවීමට ගත් උප්සහය අසාර්ථක වූ අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උද්ගතවූ අර්බුදය හමුවේ එය නැවත කැඳවීමට මෙතෙක් ගත් උත්සාහයන් සියල්ල අසාර්ථකවී තිබේ.

සභාපති, උපසභාපති ධුර හයක්, ප්‍රධාන ලේකම්, උපලේකම් ධුර දෙකක්, භාණ්ඩාගාරික හා උපභාණ්ඩාගාරික ධුර පිරවීම සඳහා වසර හතරකට වරක් ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය කැඳවිය යුතුය.

එසේ වුවත් වසර 2013 සිට මෙරට ක්‍රීඩා පනත සම්බන්ධයෙන් පැන නැගී තිබෙන  අර්බුදය මෙතෙක් විසඳී නැතත් නව ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය හමුවේ එය මේ වනවිට තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇතැයි ක්‍රීඩා විචාරකයෝ පවසති.

ඔලිම්පික් කමිටු ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට එහි සාමාජික ජාතික ක්‍රීඩා සංගම් ගණන 24 සිට 28 ක් දක්වා ඉහළ යනු ඇතැයි වාර්තාවේ. ඊට හේතුවී ඇත්තේ ඔලිම්පික් ක්‍රීඩා ඉසව් කීපයකට අයත් නව ජාතික ක්‍රීඩා සංගම් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමය.

මේ අතර නව ක්‍රීඩා රෙගුලාසි හමුවේ ජාතික ක්‍රීඩා සංගම් නිල කාල සීමාව අවසන්වීම වසරේ මාර්තු 31 නොව මැයි 31 ලෙස සංශෝධන කිරීමද කැපී පෙනේ.


අදහස් (0)

ඔලිම්පික් කමිටු නිලවරණය කල් යන ලකුණු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.