Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඔලිම්පික් කමිටු රැස්වීමෙි අළු යට ගිනි පුපුරු

ඔලිම්පික් කමිටු රැස්වීමෙි අළු යට ගිනි පුපුරු

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2004න් පසුව සිය ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා හෙට (9 වැනිදා) පස්වරු 6ට කැඳවා තිබෙන ජාතික ඔලිම්පික් කමිටුවේ මහ සභා රැස්වීම ඉතා උණුසුම්කාරී මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. වසර 2009 ජුලි මාසයේ පැවැති ජාතික ඔලිම්පික් කමිටුවේ අවසන් නිලවරණයෙන් පසුව එහි මහ සභා රැස්වීමක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.

මේ වනවිට ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගම් පමණක් නොව එහි වත්මන් නිලධාරී මණ්ලයේ නිලධාරීන් අතර ද බෙදීමක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අද කැඳවා තිබෙන මහ සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වුවත් අද පැවැත්වීමට නියමිත මහ සභා රැස්වීම පිළිබඳ සුභවාදී ආකල්පයක් දරණ ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා, වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා හා තමා උත්සාහ කරන්නේ එය වඩාත් සාමකාමීව අවසන් කිරීමට බව පැවැසීය.

“සියලු දෙනාගේම අදහස්වලට අපි එතනදී අවස්ථාව දෙනවා. හොඳ දේ අරන් මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. ඒ සෑම ජාතික ක්‍රීඩා සංගමයක්ම අපට සහයෝගය දක්වන බව විශ්වාසයි” යයි ද ඔහු එහිදී පැවැසීය.
ශ්‍රී ලංකා බැට්මින්ටන් සම්මේලනය අන්තර් ජාතික තහනමකට ලක්ව තිබෙන බැවින් ඔවුන් හැර කමිටුවේ සාමාජිකත්වය දරණ සෙසු සියලුම ජාතික ක්‍රීඩා සංගම්හි නියෝජිතයන් දෙදෙනකුට බැගින් අද මහ සභා රැස්වීමට ආරාධනා කර තිබේ.

නූතන පංච ප්‍රයාම, තුන් ප්‍රයාම, රග්බි, රෝද සපත්තු, කරාටේ දෝ, බේස් බෝල්, කඩු හරඹ යන ක්‍රීඩා ඉසව්හි පරිපාලනය මෙහෙයවන ජාතික ක්‍රීඩා සංගම් හතකට ඔලිම්පික් කමිටුවේ නව සාමාජිකත්වය ප්‍රදානය කිරීමේ යෝජනව ද අද එහි මහ සභා රැස්වීමට ඉදිරිපත් කෙරේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා ව්‍යවස්ථාව සඳහා ගෙන එන නව වගන්ති හා සංශෝධන ජාතික ක්‍රීඩා සංගම් වෙත යොමු කරමින් කියා සිටියේ ඒ හැරෙන්නට ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා වූ ඔවුන්ගේ යෝජනා හා අදහස් තිබේ නම් ඒවා ද ලිඛිතව ඉදිරිපත් කරන ලෙසත්ය. එහෙත් ලේකම්වරයා යොමු කළ නව සංශෝධන යෝජනාවලියේ ප්‍රධාන වගන්ති කීපයකටම ජාතික ක්‍රීඩා සංගම් 12ක් සිය විරෝධතා පළ කර සිටි බව වාර්තා විය.

ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය, ශ්‍රී ලංකා තුරඟ තරග සංගමය, ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය, ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ සංගමය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය හා ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ සංගමය යන ජාතික ක්‍රීඩා සංගම් නව සංශෝධන යෝජනාවලිය අනුව තවදුරටත් වෙනස් නොවී පැවැතිය යුතු වගන්ති පහක් ගැන අවධාරණය කර තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් නාමය වෙනස් නොකිරීම, එය අර්ධ සමාගමක් නොකිරීම, කමිටුවේ වත්මන් උපසභාපති ධුර සංයුතිය වෙනස් නොකිරීම, කමිටුවේ තනතුරු සඳහා පත්වීමේදී වයස් සීමාවක් නොතිබීම හා ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වලට අයත් නොවන ජාතික ක්‍රීඩා සංගම් සඳහා කමිටුවේ නිලවරණයේදී ඡන්ද බලය ප්‍රදානය නොකිරීම යන කාරණා තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක විය යුතු බව එම ජාතික ක්‍රීඩා සංගම් අවධාරණය කර ඇතැයි ද වාර්තා වේ.

ඔලිම්පික් කමිටුවේ නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියට අනුව ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව යන නව නිල නාමයෙන් හැඳින්වීම, එය අර්ධ සමාගමක් බවට පත්කිරීම, උපසභාපති ධුර හතරකට සීමා කිරීම, තනතුරු දැරීමේදී වයස 75 නොඉක්මවීම හා මේ වනවිට කමිටුවේ සාමාජිකත්වයේ නොමැති ජාතික ක්‍රීඩා සංගම් එහි රැස්වීම්වලට කැඳවීම යන නව යෝජනා කීපයක් ද ඉදිරිපත්ව තිබේ.

කෙසේ වුවත් ශ්‍රී ලංකා ටෙනිස් සංගමය හා ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියට සහයෝගය පළ කර ඇතැයි ද වාර්තා වේ.
ඒ අතර ඉතිරි ජාතික සංගම් ගණනාවක් ව්‍යවස්ථා සංශෝධන නව යෝජනාවලිය සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කර නොමැති බව ද වැඩිදුරටත් දැනගන්නට ඇත.

කෙසේ වුවත් මේ වනවිට පරිපාලන ආරවුල් හේතුවෙන් ක්‍රියාකරීත්වය අත්හිටුවා තිබෙන ශ්‍රී ලංකා අත්පන්දු (හෑන්ඞ් බෝල්) සම්මේලනය, ශ්‍රී ලංකා හොකී සම්මේලනය, ශ්‍රී ලංකා ජූඩෝ සංගමයට ද අද මහ සභා රැස්වීමට ආරාධනා කර තිබේ.

එම සංගම්හි ක්‍රියාකාරීත්වය අත්හිටුවනවිට කටයුතු කරමින් සිටි ප්‍රධානීන්ට ඒ සඳහා ආරාධනා ලැබී තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ දීර්ඝ කාලයක් කයටුතු කළ එහි හිටපු ලේකම්වරු දෙදෙනෙක් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වත්මන් ලේකම් ප්‍රේමා පින්නවල හා ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ සංගමයේ ලේකම් කොමදෝරු එච්.යූ. සිල්වා යන මහත්වරුගේ සහයෝගය නව ව්‍යවස්ථා විරෝධී ජාතික ක්‍රීඩා සංගම් පාර්ශ්වයට ලැබී තිබෙන බව ද ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර අද පැවැත්වෙන කමිටුවේ මහ සභා රැස්වීම පිළිබඳ දැනුවත් කරමින් එහි නිලධාරීන්ට එවා තිබෙන ආරාධනාව සම්බන්ධයෙන් ඔවුන් දැඩි අවධානය යොමු කර ඇතැයි ද වාර්තා වේ.

ඒ සඳහා ‘නිරීක්ෂකයන්’ ලෙස සහභාගී වන ලෙස කර ඇතැයි කියන දැනුම් දීම ඊට හේතු වී ඇතැයි ද වාර්තා වේ.
අවසන් වරට ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාව වසර 2004 දී සංශෝධනය කිරීමේ උත්සවයක් ගෙන ඇතත් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිර්දේශය ලැබුණත් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඒ සඳහා අනුමැතිය ලැබුණු බවට නිල වශයෙන් සඳහනක් නැතැයි ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා පවසයි.

එවකට ඔලිම්පික් කමිටුවේ ලේකම් ධුරය දරා ඇත්තේ කොමදෝරු එච්.යූ. සිල්වා මහතාය.

 


අදහස් (0)

ඔලිම්පික් කමිටු රැස්වීමෙි අළු යට ගිනි පුපුරු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.