Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවසන් වතාවට පැවැති තරගාවලියේ ශූරිය වූ අමෙරිකාවේ සෙරීනා විලියම්ස්, 2016 අනුශූරතාව දිනූ මහ බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ, 2012 සහ 2013 වසරවලදී පිට පිට දෙවතාවක් ශූරතාව දිනූ බෙලරුසියාවේ වික්ටෝරියා ඇසරෙන්කා සහ 2013 අර්ධ අවසන් පූර්ව වටයට සේන්දුවූ ස්වෙට්ලානා කුසනොට්සෝවා ආබාධ සහ වෙනත් හේතු මත මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියට සහභාගි නොවෙති. එසේ වුවත් වසරේ පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලිය සටන්කාමීත්වයෙන් අඩු නොවන තරගාවලියක් වනු ඇතැයි තරග සංවිධායකයෝ කියති.
මීට මාස කිහිපයකට පෙර සිය පළමු දරු ප්‍රසූතියට මුහුණදුන් සෙරීනා විලියම්ස් ශාරිරික යෝග්‍යතාවය පිළිබඳ ඇතිකරගත් කනස්සල්ල හේතුවෙන් මෙවර තරගාවලියට එක්නොවන අතර තුනටියේ ආබාධයක් නිසා ඇන්ඩි මරේ අවසන් මොහොතේ තරගාවලියෙන් ඉවත්විය.
ස්වෙට්ලානා කුසනොට්සෝවාට මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකිවූයේ ඇගේ වමතේ මැණික් කටුවේ ආබාධයක් නිසාය. වික්ටෝරියා ඇසරෙන්කා සිය පුත්‍රයාගේ නීත්‍යානුකූල භාරකාරීත්වය සඳහා ගොනු කළ නඩුව විභාග වෙමින් පවතින නිසා ඇය පදිංචිවී සිටින අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් පිටවීමට අවසර නොමැත.
අද (15) සිට 28 වැනිදා දක්වා මෙල්බර්න් නුවර පැවැත්වෙන 106 වැනි ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ මෙවර ජයග්‍රාහකයන්ට පිරිනැමෙන තෑගි මල්ල ඕස්ටේ්‍රලියානු ඩොලර් කෝටි පහමාරකි. ශූරයාට සහ ශූරියට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4 බැගින් හිමිවන අතර අනුශූරයාට සහ අනුශූරියට පිරිනැමෙන මුදල් ත්‍යාගය මිලියන 2කි. එසේ වුවත් මේ තෑගි මල්ල තවත් වැඩිකළ යුතු යයි හය වතාවක් ඕස්ට්‍රේලියානු ශූරතාව දිනාගත් ක්‍රීඩකයකු වන සර්බියාවේ නොවැක් ජොකොවික් පසුගියදා මෙල්බර්න්හිදී පැවසී යයි වාර්තා විය.
පුහුණුවීම් සැසියකදී ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පිළිතුරු නොදී ජොකොවික් පැන ගියේය.
“ඕහ්...කණගාටුයි....මට ඒ ගැන කියන්න කිසිම දෙයක් නෑ” යයි කියමන් ජොකොවික් පිටියෙන් ඉවතට යන්නට ගියේය.
වසරේ පළමුවැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලිය ලෙස පැවැත්වෙන මේ තරගාවලියෙන් පසුගිය වසරේ ශූරිය සෙරීනා විලියම්ස් ඉවත්වීමෙන් වැඩිම වාසිය සැලැසී ඇත්තේ ඇගේ ප්‍රබලතම තරගකාරිනිය වන රුසියාවේ මරියා ෂරපෝවාට සහ වැඩිමල් සොයුරිය වීනස් විලියම්ස්ටය. පසුගිය වසරේ සිය සොයුරිය හමුවේ පරාජයට පත්ව අනුශූරතාවෙන් සෑහීමකට පත්වූ වීනස් මෙවර තරගාවලියට එක්වී සිටින්නේ විලියම්ස් පවුලේ අභිමානය රැකගැනීමටයි.
මීට වසර දෙකකට පෙර තහනම් උත්තේජන භාවිතය නිසා තරග තහනමට ලක්වී සිටි ෂරපෝවාට ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දොරටු විවරවුයේ හිටපු ශූරයන්ට ප්‍රධාන තරගාවලියේ කුසපත් ඇදීමේදී අවස්ථාවක් ලබාදීම මේ තරගාවලියේ සම්ප්‍රදායික පිළිවෙතක් තිබූ බැවිනි. එවැනි අවස්ථාවක් මෙවර ලැබූ එකම ක්‍රීිඩිකාව වන්නේ ද ෂරපෝවාය.
මීට අමතරව වත්මන් කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන රුමේනියාවේ සිමෝනා හැලේප්, දෙවැනි තැන පසුවන ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකි, ස්පාඤ්ඤයේ ගාබින් මුගුරුසා (තුන්වැනි ස්ථානය), මහ බ්‍රිතාන්‍යයේ අංක එකේ ක්‍රීඩිකා ජොහානා කොන්ටා (ශ්‍රේණිගත කිරීම්වල 10), ජර්මනියේ ඇන්ජලික් කේබර් (16 වැනි ස්ථානය), චෙක් රාජ්‍යයේ පෙට්‍රා කොවිටා (28 වැනි ස්ථානය) මෙවර ඕස්ට්‍රේලියානු විවෘත කාන්තා කිරුළට කුරුමානම් අල්ලමින් සිටිති.
පසුගිය වසරේ පිරිමි ශූරතාව දිනූ වත්මන් ශ්‍රේණිගත කිරිම්වල දෙවැනි තැන පසුවන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් මෙවර තරගාවලියට එක්වී සිටින්නේ සිය කිරුළ රැකගැනීමේ අරමුණ ඇතිවය. ඔහුගේ ප්‍රබලතම තරගකරු වන ඇන්ඩි මරේ තරගාවලියෙන් ඉවත්වූවත් අභියෝගවලින් ඔහුට කිසිදු බුරුලක් නොලැබෙන්නේ අංක එකේ ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් තරගාවලියේ වැඩි අවධානයක් දිනා සිටින ක්‍රීඩකයා බවට පත්වී සිටීමෙනි. වසර 2009 දී පමණක් ඕස්ට්‍රේලියානු ටෙනිස් කිරුළ අතට ගත් මේ ස්පාඤ්ඤ ක්‍රීඩකයා මෙවර ශූරතාව දිනාගන්නා බවට පළවී ඇති අනාවැකි ප්‍රමාණය ද සුලු පටු නොවේ.
මේ අතර ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි තැන සිටින ෆෙඩරර්ගේ රටේහිම ප්‍රතිවාදියා වන ස්ටෑන් වර්වින්කා, ආජන්ටිනාවේ ජුවාන් මාටින් ඩෙල් පොට්රෝ (10 වැනි ස්ථානය), 2015, 2016 ඇතුළුව ඕස්ට්‍රේලියානු ටෙනිස් ශූරතා 6ක් දිනා සිටින සර්බියාවේ නොවැක් ජොකෝවික් (14 වැනි ස්ථානය), ෆෙඩරර්ගේ ආධිපත්‍ය බිමට සමතලා කිරීමේ අරමුණ ඇතිව තරග බිමට එක්වී සිටිති.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.