Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner කොළඹ මැරතන් ශූරයා කෙන්යාවේ තලාම්

කොළඹ මැරතන් ශූරයා කෙන්යාවේ තලාම්

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8500 කට ආසන්න පිරිසක් සහභාගි වූ 18 වැනි එල්. එස්. ආර්. කොළඹ ජාත්‍යන්තර මැරතන් ඉසව්වේ පිරිමි තරගය ජයගැනීමට කෙන්යානු ක්‍රීඩක ජෙම්ස් තලාම් සමත් විය. තරගය නිමා කිරීම සඳහා ඔහුට ගතවූ කාලය පැය 2 යි විනාඩි 21 යි තත්පර 52 කි.   

කොළඹ බෞද්ධාලෝක මාවත අසලින් අද (7 වැනිදා) පෙරවරු 6.00 ට ආරම්භ වූ මැරතන් තරගය, බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල, හැමිල්ටන් ඇල අසලින් ඇති මාර්ගය, පමුණුගම, තලාහේන, පිටිපන, දූව යන මාර්ග ඔස්සේ මීගමුව වෙරළ උද්‍යානයට පැමිණීමෙන් අවසන් විය.

තලාම් පිට පිටම කොළඹ මැරතන් තරගය ජයගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර ඉකුත් වසරේ (2017) පැවැති කොළඹ මැරතන් තරගයේ ජයග්‍රාහකයා වූයේද තලාම්ය. එවර තරගය නිමා කිරීම සඳහා ඔහුට පැය 2 යි විනාඩි 23 යි තත්පර 37 ක කාලයක් ගතවී තිබිණ. තරග නිමි කාලය අනුව ගත්කළ ගිය වරට වඩා ඔහු මෙවර විනාඩියයි තත්පර 45 ක් ඉදිරියෙන් සිටී.

පැය 2 යි විනාඩි 21 යි තත්පර 58 කින් තරගය නිමා කළ කෙන්යාවේ ස්ටීවන් මුන්ගතියා  මැරතන් (පිරිමි) තරගයේ දෙවැනි ස්ථානයටත්, පැය 2 යි විනාඩි 22 යි තත්පර 30 කින් තරගය නිමා කළ කෙන්යාවේ පීටර් කේටර් එහි තෙවැනි ස්ථානයටත් පත්වූහ.

එහි සිව්වැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා පොලිසියේ අමිල සනත් කුමාර, තරගය නිමා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වූ අතර ඔහුට ඒ සඳහා ගතවූ කාලය පැය 2 යි විනාඩි 25 යි තත්පර 35 කි. ඉකුත් වසරේ පැවැති තරගයේදී පැය 2 යි විනාඩි 28 යි තත්පර 58 ක කාලයක් වාර්තා කරමින් සිවුවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සුරංග ගුණසේකර මේ වසරේදී සිය තරග නිමි කාලය විනාඩියයි තත්පර 51 කින්  ඉහළ දමාගැනීමට සමත් වුවද, ඔහුට හිමිවූයේ මෙවර තරගයේ පස්වැනි ස්ථානයයි.  

කාන්තා මැරතන් තරගය ජයගැනීමට පැය 2 යි විනාඩි 52 යි තත්පර 54 කින් තරගය අවසන් කළ කෙන්යාවේ මාග්‍රට් ජුගුනා සමත් වූවාය. තරගය පුරා ඇය සමග කරට කර තරගයක නිරත වූ කෙන්යාවේ එමිලි ජෙප්කෝච් කාන්තා තරගයේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර ඒ සඳහා ඇයට ගත වූ කාලය පැය 2 යි විනාඩි 53 යි තත්පර 49 කි.  

පැය 2 යි විනාඩි 53 යි තත්පර 56 කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකා නාවික  හමුදාවේ  මධුමාලි පෙරේරා කාන්තා තරගයේ තෙවැනි ස්ථානයට පත්වූවාය. එම කාලය ඇය මෙතෙක් වාර්තා කළ හොඳම කාලය ලෙසද සටහන් විය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වන එන්.කේ. ප්‍රනාන්දු (3.02:55) සහ එල්.ඒ. බෝගහවත්ත (3.03:29) පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථානවලට පත්වූහ.

පිරිමි සහ කාන්තා තරග ජයගත් ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට ඇමරිකානු ඩොලර් 2500 ක මුදලක් සහ ගුවන් ටිකට්පතක් බැගින් ත්‍යාග ලෙස පිරිනැමිණ. එම මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් හාර ලක්ෂ තිස්දහසක් (430,000) පමණ විය.  එහිදී දෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1500 ක් බැගින්ද, තෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1000 ක් බැගින්ද, සිව්වැනි සහ පස්වැනි ස්ථාන වලට පිළිවෙළින් ඇමරිකානු ඩොලර් 500 ක් සහ 200 ක් බැගින්ද පිරිනැමිණ.

මෙවර තරගාවලිය සඳහා රටවල් 45 ක් පමණ නියෝජනය කරමින් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 කට ආසන්න පිරිසක් සහභාගී වූහ. පිරිමි මැරතන් තරගයේ පළමු ස්ථාන 10 න් 6 ක්ද, කාන්තා මැරතන් තරගයේ පළමු ස්ථාන 10 න් 7 ක්ද, දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර තරගයේදී කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොදෙවෙනි දක්ෂතාවක් ප්‍රදර්ශනය කළහ.  

තරගාවලියට සමගාමීව පැවැති පිරිමි අර්ධ මැරතන් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ ඩී.ජී.ඩී. සඳරුවන් සමත් වූ අතර කාන්තා අර්ධ මැරතන් තරගය ජය ගැනීමට ඇමරිකාවේ ඇමැන්ඩා චෑන්ග් සමත් වූවාය. සඳරුවන් පැය 1 යි විනාඩි 09 යි තත්පර 37 කින් අර්ධ මැරතන් තරගය නිමා කළ අතර ඇමැන්ඩාට අර්ධ මැරතන් තරගය නිමා කිරීම සඳහා පැය 1 යි විනාඩි 25 යි තත්පර 13 ක කාලයක් ගතවූවාය.  

ලංකා ස්පෝට්රයිසන් සංචාරක ඒජන්සිය සංවිධාන කළ මෙම මැරතන් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම කටයුතු කළේය.


පිරිමි පූර්ණ මැරතන් තරගය  
1 ජෙම්ස් තලාම් (කෙන්යාව) - පැය 2:21.52
2 ස්ටීවන් මුන්ගතියා (කෙන්යාව) - පැය 2:21.58
3 පීටර් කේටර් (කෙන්යාව) - පැය 2:22.30
4 අමිල සනත් කුමාර (ශ්‍රී ලංකාව) - පැය 2:25.35
5 සුරංග ගුණසේකර (ශ්‍රී ලංකාව) - පැය 2:27.07
6 පී.ඩී. අරුණසිරි (ශ්‍රී ලංකාව) - පැය 2:29.32
7 පී.එස්. නිරෝෂණ (ශ්‍රී ලංකාව) - පැය 2:30.05
8 හෆ්ටු ටැඩෙලේ (ඉතියෝපියාව) - පැය 2:30.59
9 ටී.ජී. අලහකෝන් (ශ්‍රී ලංකාව) - පැය 2:33.24
10 කැළුම් ධර්මරත්න (ශ්‍රී ලංකාව) - පැය 2:36.03


කාන්තා පූර්ණ මැරතන් තරගය
1 මාග්‍රට් ජුගුනා (කෙන්යාව) - පැය 2:52.54
2 එමිලි ජෙප්කෝච් (කෙන්යාව) - පැය 2:53.49
3 මධුමාලි පෙරේරා (ශ්‍රී ලංකාව) - පැය 2:53.56
4 එන්.කේ. ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) - පැය 3:02.55
5 එල්.ඒ. බෝගහවත්ත (ශ්‍රී ලංකාව) - පැය 3:03.29
6 නවුම් ජෙප්කොස්ගෙයි (කෙන්යාව) - පැය 3:17.25
7 මංජුලා කුමාරසිංහ (ශ්‍රී ලංකාව) - පැය 3:24.48
8 මල්ලිකා චන්ද්‍රකාන්ති (ශ්‍රී ලංකාව) - පැය 3:32.18
9 නිරෝෂමාලා කුමාරි (ශ්‍රී ලංකාව) - පැය 3:53.18
10 දීපිකා හේමන්ති (ශ්‍රී ලංකාව) - පැය 3:58.13


පිරිමි අර්ධ මැරතන් තරගය  
1 ඩී.ජී.ඩී. සඳරුවන් (ශ්‍රී ලංකාව) - පැය 1:09.37
2 දිල්කුෂ කාරියවසම් (ශ්‍රී ලංකාව) - පැය 1:10.17
3 ප්‍රීතිරාජ් සෝමරත්න (ශ්‍රී ලංකාව)  - පැය 1:11.07
4 ලසිත් සුපුන් (ශ්‍රී ලංකාව) - පැය 1:13.34  
5 සනත් අමරසිංහ (ශ්‍රී ලංකාව) - පැය 1:14.11   


කාන්තා අර්ධ මැරතන් තරගය
1 ඇමැන්ඩා චෑන්ග්  (ඇමරිකාව) - පැය 1:25.13
2 ක්‍රිෂ්ණා කුමාරි (ශ්‍රී ලංකාව) - පැය 1:27.23  
3 දේවිකා බක්ෂි (ඉන්දියාව) - පැය 1:43.13
4 ලිං චෙයුන් (චීනය) - පැය 1:55.28
5 අයෝධ්‍යා ජයවර්ධන (ශ්‍රී ලංකාව) - පැය 1:58.39

 

අමිල සනත් කුමාර
 

සුරංග ගුණසේකර
 

පී.ඩී. අරුණසිරි

 

කොළඹ මැරතන් තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ළහිරු හර්ෂණ

 


අදහස් (0)

කොළඹ මැරතන් ශූරයා කෙන්යාවේ තලාම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.