Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner කි‍්‍රෂාන් මධුසංඛ තරගාවලියෙන් ඉවතට

කි‍්‍රෂාන් මධුසංඛ තරගාවලියෙන් ඉවතට

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සංවිධානය කරන 17 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ අද (26 වැනිදා) පැවැති දෙවැනි අදියර, තෙවැනියා ලෙස අවසන් කළ නාවික හමුදාවේ කි‍්‍රෂාන් මධුසංඛ විනය විරෝධී හේතූන් මත තරගාවලියෙන් ඉවත් කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ.

එලෙස ඔහුව තරගයෙන් ඉවත් කිරීමට ප‍්‍රධාන වශයෙන් හේතූවූයේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමේදී ඔහු ජාත්‍යන්තර පාපැදි සම්මේලනයේ නීති රීති උල්ලංඝනය කරමින් තරග තීරකවරුන්ව විවේචනය කිරීමයි. තරගයක් පැවැත්වෙන අතරතුර තරග තීරකවරුන්ව විවේචනය කිරීම ජාත්‍යන්තර පාපැදි සම්මේලනයේ නීති රීති උල්ලංඝනය කිරීමකි.

ඊයේ (25 වැනිදා) පැවැති පළමු අදියරේ දෙවැනි ස්ථානය හිමිකරගත් කි‍්‍රෂාන් මධුසංඛ, තරග සෙසු තරගකරුවන්ට බාධා කරමින් සිය පාපැදිය හැසිරවීම නිසා ඔහුව දෙවැනි ස්ථානයේ සිට ස්ථාන 6 ක් පහළට (8 වැනි ස්ථානයට) දැමීමට තරග තීරකවරු කටයුතු කළහ. එලෙස කිරීමට විරෝධය පළකරමින් ඔහු අද තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ තරග තීරකවරුන්ව විවේචනය කළේය.

දෙවැනි අදියර ජයගැනීමට ගුවන් හමුදාවේ නිදුෂ් නිරන්ත සමත් වූ අතර එම අදියර නිමා කිරීම සඳහා ඔහුට පැය 2.55:33 ක කාලයක් ගතවිය. වීරවිල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිටින් පෙරවරු 8.30 ට ආරම්භ වූ දෙවැනි අදියර කොග්ගල ගුවන් හමුදා කඳවුර දක්වා කිලෝ මීටර් 131 ක දුරක් ගමන් කිරීමෙන් අනතුරුව අවසන් විය.

ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සජිත් හසන්ත දෙවැනි අදියරේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර තෙවැනියා ලෙස තරගය නිමා කළ කි‍්‍රෂාන් මධුසංඛ තරගයෙන් ඉවත් කිරීම නිසා සිව්වැනියා ලෙස තරගය නිමා කළ ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ, තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය. දකුණු ආසියානු රන් පදක්කම් ලාභී ජීවන් ජයසිංහ පළමු අදියර නිමා කළේ 17 වැනියා ලෙසිනි.  

ඊයේ (25 වැනිදා) පැවැති පළමු අදියර ජයගත් ගුවන් හමුදාවේ අෂේන් තාරුක දෙවැනි අදියර නිමා කළේ 11 වැනියා ලෙසයි. කෙසේ වුවත් තරග නිමි කාලය අනුව ඔහු තවමත් සමස්ත ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙයි.

අම්බලන්තොට අබාන්ස් ප‍්‍රදර්ශණාගාරය අසලින් ආරම්භ වූ දෙවැනි අදියරේ පළමු ස්ප‍්‍රින්ට් කඩයිම ජයගැනීමට ගුවන් හමුදාවේ දිනේෂ් ධනුෂ්ක සමත් වූ අතර එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල් සහ ගුවන් හමුදාවේ සුජිත් සිල්වා විසින් දිනා ගන්නා ලදහ.

මාතර අබාන්ස් ප‍්‍රදර්ශණාගාරය ඉදිරිපිටින් අවසන් වූ දෙවැනි ස්ප‍්‍රින්ට් කඩයිම ජයගැනීමට සුපර් වීලර්ස් ක‍්‍රීඩා සමාජයේ සඳරුවන් ගුණසේකර සමත් වූ අතර එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් නාවික හමුදාවේ සුරේෂ් ප‍්‍රසංග සහ ගුවන් හමුදාවේ අශේන් තාරුක විසින් දිනා ගන්නා ලදහ.  

අබාන්ස් ආයතනයේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම පාපැදි සවාරියට ති‍්‍රවිධ හමුදාව, පොලිසිය සහ ක‍්‍රිඩා සමාජ රැසක් නියෝජනය කරමින් තරගකරුවෝ 100 කට අධික පිරිසක් සහභාගි වෙති.

හෙට (27 වැනිදා) පැවැත්වෙන අවසන් අදියරේදී තරගකරුවන්ට කොග්ගල ගුවන් හමුදා කඳවුර අසල සිට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය දක්වා කිලෝ මීටර් 133 ක් ගමන් කිරීමට සිදුවේ.

කාන්තා පාපැදි තරගයද හෙට ඒකල ගුවන් හමුදා කඳවුර අසලින් ආරම්භ වන අතර එතැන සිට කිලෝ මීටර් 65.8 ක දුරක් ගෙවා කොළඹ ගුවන් හමුදා මුලස්ථානය අසලට පැමිණීමෙන් එය අවසන් වීමට නියමිතය.


දෙවැනි අදියරේ ප‍්‍රතිඵල

1 නිදුෂ් නිරන්ත (ගුවන් හමුදාව) - පැය 2.55:33
2 සජිත් හසන්ත (වාරාය අධිකාරිය) - පැය 2.55:33
3 ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව) - පැය 2.55:33
4 කස්සප සිරිවර්ධන (වාරාය අධිකාරිය) - පැය 2.55:33
5 නවීන් රුචිර (ගුවන් හමුදාව) - පැය 2.55:33
6 සුජුත් සිල්වා (ගුවන් හමුදාව) - පැය 2.55:33
7 කිවිසුරු කරුණාරත්න (යුද හමුදාව) - පැය 2.55:33
8 සමන්ත ලක්මාල් (ගුවන් හමුදාව) - පැය 2.55:33
9 සුරේෂ් ප‍්‍රසංග (නාවික හමුදාව) - පැය 2.55:33
10 අෂේන් තාරුක (ගුවන් හමුදාව) - පැය 2.55:33

 

ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියරේ විශේෂ අවස්ථා...


අදහස් (0)

කි‍්‍රෂාන් මධුසංඛ තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.