Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ගයන්තිකා - ලයනල් ලෝක ශූරතාවලියට

ගයන්තිකා - ලයනල් ලෝක ශූරතාවලියට

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවරඑළියේදී පැවැති ජාතික රට හරහා දිවීමේ තරග මාලාවේ කාන්තා හා පිරිමි රන් පදක්කම්ලාභීන් වන ගයන්තිකා කුමාරි අබේරත්න හා ලයනල් සමරජීවට රට හරහා දිවීමේ ලෝක ශූරතාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමිව තිබේ. රට හරහා දිවීමේ ලෝක ශූරතාවලිය මාර්තු 26 වැනිදා උගන්ඩාවේ ‘කම්පාලා’ නුවරදී පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ පැවැත්වීමට නියමිත 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු ඉසව්ව ලෙස නුවරඑළිය තුරඟ තරග පිටිය හරහා අවට මාර්ග කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ජාතික රට හරහා දිවීමේ තරගයේ විශේෂ සිදුවීම වූයේ වසර හතරකට පසුව ගයන්තිකා කුමාරි අබේරත්න යළි ජයගැනීමයි. දකුණු පළාත නියෝජනය කරන ඇය කිලෝමීටර් 12ක් දුරැති කාන්තා තරගය විනාඩි 38 තප්පර 33කින් නිම කළාය.

මීටර් 800 කාන්තා ඉසව්වේ ශූරියන් ලෙස පසුගිය වසර කීපයේදී දක්ෂතා දැක්වූ මෙම 30 හැවිරිදි ක්‍රීඩාකාව යාපනය ‘දොරේඅප්පා’ ක්‍රීඩාංගණයේදී පැවැති 42 වැනි ජතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වේ රිදී පදක්කම විනාඩි 3 තප්පර 03.70 කට හිමිකර තත්තේ එහි වසර 24ක් පැරණි ශ්‍රී ලංකා වාර්තවාද අභිබවා යමිනි.

කෙසේ වුවත් එහි රන් පදක්කම දිනා ගත් නිමාලි ලියනආරච්චි (විනාඩි 2 තත්. 03.50) පිහිටවූ එහි නව ශ්‍රී ලංකා වාර්තාව වඩාත් කතාබහට ලක්වූයේ එහි කලින් ශ්‍රී ලංකා වාර්තාව හිමිකරගෙන තිබූ ධම්මිකා මැණිකේ එය පිළිගැනීම අභියෝගයට ලක්කර තිබූ බැවිනි.

නාවික හමුදාවේ ක්‍රීඩිකාවක් වන ගයන්තිකා අබේරත්න අවසන් වරට ඉන්දියාවේ ගුවාහතිහි පැවැති 12 වැනි සාෆ් ක්‍රීඩා උළෙලේදී මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම හා මීටර් 1500 (කාන්තා) ඉසව්වේ රිදී පදක්කමද දිනා ගත් දක්ෂ මැදි දුර ධාවන ශූරියකි.

අගේ ජයග්‍රහණය සමග ගියවර විනාඩි 37.5කට මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත් ශ්‍යාමලි අනුෂා ළමාහේවාට මෙවර තෙවනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය. ගියවර රිදී පදක්කම්ලාභිනිය වන නිලානි ලංකා ආරියදාසට මෙවරත් එය රැක ගනීමෙන් පමණක් සෑහීමට පත්වීමට සිදුවිය. ගයන්තිකාගේ පුහුණුකරු ලෙස ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන සජීත් ජයලාල් මහතා කටයුතු කරයි.

ගයන්තිකාගේ නැවත ජයග්‍රහණය ගැන ඔහු පැවසුවේ පසුගිය වසර හැරෙන්නට වසර 2005 සිට 2017 දක්වා අඛණ්ඩව ජාතික රට හරහා දිවීමේ තරගාවලියේ රන් පදක්කම් ලාභිනියගේ පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කිරීමට තමාට හැකි වූ බවයි.

මේ අතර මෙවර තරගයට සහභාගි වූ ජාතික මැරතන් ශූරියක් ලෙස පසුව ප්‍රකට වූ නිශානි රාජසේකර සිව්වෙනි ස්ථානය ලැබුවාය.

මෙවර පිරිමි රන් පදක්කම දිනා ගත් ඌව පළාත් ලයනල් සමරජීව එය දිනා ගත් සිව් වැනි අවස්ථාව මෙය විය. ඔහු ගියවර රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 32 තප්පර 49 කටය. ගියවර විනාඩි 33.02කට රිදී පදක්කම හිමිකරගත් එරන්ද තෙන්නකෝන්ට මෙවර ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

මෙවර ජාතික රට හරහා දිවීමේ තරගාවලියට ක්‍රීඩකයෝ 87 දෙනෙක්ද ක්‍රීඩිකාවෝ 48 දෙනෙක්ද සහභාගි වූ බව ක්‍රීඩා අමාත්‍යාංශයේ මලල ක්‍රීඩා ව්‍යාපෘති නිලධාරී, හිටපු ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයි.කේ. කුලරත්න මහතා පැවසීය. රන්, රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන් හා ලාභිනියන්ට පිළිවෙලින් රුපියල් 25000 ක්, රුපියල් 20000 ක් සහ රුපියල් 15000 ක් බැගින් ත්‍යාග ප්‍රදානය කෙරේ.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජයසංකේත ප්‍රදානෝත්සවය පැවැති අතර තරග මාලාවේ කාන්තා හා පිරිමි කණ්ඩායම් ශූරතා දෙකම මධ්‍යම පළාත විසින් හිමි කර ගන්නා ලදී.

මෙවර රත්නපුර සබරගමුව පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී 43 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතය. එහි මැරතන්, ඇවිදීම, පාපැදි (කාන්තා-පිරිමි) තරග මාලාව ලබන මැයි 27 වැනිදා ඇඹිලිපිටියේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මෙවර ජාතික රට හරහා දිවීමේ තරගාවලියේ රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන්ටද ලෝක ශූරතාවලිය ඇතුළු ජාත්‍යන්තර තරගාවලි කීපයකට සහභාගි වීමේ අවස්ථාව හිමිවනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තාවේ.

 


ජාතික රට හරහා දිවීමේ තරගමාලාවේ ප්‍රතිඵල

● පිරිමි:-
1. ලයනල් සමරජීව (මධ්‍යම විනාඩි 33.00),
2. ආර්.එම්.එස්. පුෂ්පකුමාර (බස්නාහිර - විනාඩි 33 තත්ත්පර 33.16)
3. එරංග තෙන්නකෝන් (ඌව 33.32)
4. එස්. චන්ද්‍රදාසන් (මධ්‍යම 33.40)
5. ජී.කේ.කේ.එස්.ටී. ගුණසේකර (බස්නාහිර 33.45)
6. එන්.ජී.ඒ. බණ්ඩාර (මධ්‍යම 34.15)
7. කුමාර් සමුගේෂ්වරන් (මධ්‍යම  34.15)
8. මධුරංග සමරකෝන් (මධ්‍යම 34.21)
9. එස්.ඒ.එල්. සිරිමාන්න (බස්නාහිර 34.21)
10. කේ.ඒ.එස්. රත්නායක (සබරගමුව 34.37)


● කණ්ඩායම් ශුරතාව:-

1. මධ්‍යම පළාත
2. බස්නාහිර පළාත
3. ඌව පළාත.


● කාන්තා:-
1. ගයන්තිකා තුෂාරි අබේරත්න (දකුණ විනාඩි 38.33)
2. නිලානි ලංකා ආරියදාස (සබරගමුව විනාඩි 39 තත්ත්පර 39.21)
3. ශ්‍යාමලී අනුෂා ළමාහේවා (ඌව 39.53)
4. ගීතානි රාජසේකර (බස්නාහිර 40.33)
5. එම්.යූ.එම්.එන්. ප්‍රියදර්ශනී (මධ්‍යම 40.42)
6. බී. ක්‍රිෂාන්තිනී (මධ්‍යම 41.01)
7. කේ.එම්.එස්.එම්. වික්‍රමසූරිය (මධ්‍යම 41.05)
8. මංජුලා කුමාරසිංහ (බස්නාහිර 41.19)
9. තරංගිකා ප්‍රියදර්ශනී (ඌව 41.51)
10. වයි.එම්.ටී.ඩී. කුමාරි (මධ්‍යම 42.20)


● කණ්ඩායම් ශුරතාව -
1. මධ්‍යම පළාත
2. බස්නාහිර පළාත
3. ඌව පළාත

 

රට හරහා දිවීමේ ජාතික තරග මාලාවේ විශේෂ දර්ශන...

(ඡායාරූප - විකුම් ප්‍රියදර්ශන)


අදහස් (0)

ගයන්තිකා - ලයනල් ලෝක ශූරතාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.