Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ජොකොවික් වාර්තා පොත අලූත් කරයි

ජොකොවික් වාර්තා පොත අලූත් කරයි

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමුවතාවට ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව අත්පත්කරගත් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටින සර්බියාවේ නොවැක් ජොකෝවික් වසර 47 කට පසුව වාර්ෂික ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා පෙළ ජයග‍්‍රහණයෙන් සම්පූර්ණ කළ පළමු කී‍්‍රඩකයා ලෙස වාර්තාපොත අලූත් කළේය.

29 හැවිරිදි සර්බියානුවා මේ වාර්තාව තැබුවේ ඊයේ පස්වරුවේ පැරිස් නුවර රෝලන්ඞ් ගැරොස්  ටෙනිස් පිටියේ දී මහ බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේ ලකුණු 3-6, 6-1, 6-2 සහ 6-4ක් ලෙස පරදවමිනි.

ලෝක ටෙනිස් ඉතිහාසයේ අවසන් වතාවට වාර්ෂික ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා පෙළම සියතට ගත් කී‍්‍රඩකයා වූයේ  ඕස්ටේ‍්‍රලියාවේ රොඞ් ලීවර්ය. ඔහු 1969 දී එම වාර්තාව පිහිටුවීමෙන් පසුව බියොන් බෝර්ග්, ජෝන් මැකෙන්රෝ, පීට් සම්ප‍්‍රාස්, ඇන්ඩි‍්‍ර අගසි වැනි විශිෂ්ට කී‍්‍රඩකයන් රැසක් බිහිවූවත් ඒ කිසිවකුට එම හපන්කම කිරීමට නොහැකිවිය. ඊයේ ජොකෝවික් එම වාර්තාව අලූත් කරමින් ඉතිහාසයට එක්වූයේ එවැනි හපන්කමක් කළ ලොව අටවැනි කී‍්‍රඩකයා බවට පත්වෙමිනි.

රෝලන්ඞ් ගැරොස් පිටිය උණුසුම් කළ මේ අවසන් තරගය පැය තුනක් පුරා ඇදී ගිය අතර ලොව නොම්මර එකේ කී‍්‍රඩකයාට ඔහුගේ 12 වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ අත්පත් කරගැනීම සඳහා සෑහෙන සටනක් දීමට සිදුවිය.


ඇන්ඩි මරේ

අන්තර්ජාතික ටෙනිස් පිටියේ ජොකෝවික්ට පමණක් දෙවැනිවී සිටින ඇන්ඩි මරේ ඊයේ අවසන් මහා තරගයේ පළමු වටයේ දී සිය ප‍්‍රතිවාදියාගේ ඉවසීම කදිමට පරීක්ෂා කර බැලූ අතර දෙවැනි වටයේ සිට එය මග හරවා තරගයේ පාලනය සියතට ගැනීමට ජොකෝවික්ට හැකිවිය.

29 හැවිරිදි මරේට මෙවර ප‍්‍රංශ ටෙනිස් තරගාවලියේ අනුශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවූවත් වසර 79කට පසුව රෝලන්ඞ් ගැරොස් ටෙනිස් පිටියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමු බි‍්‍රතාන්‍ය ජාතිකයා ලෙස වාර්තාපොතට එක්වීම නම් සතුටට කරුණකි.

”මේක ඉතා විශේෂිත මොහොතක්. සහතිකේටම මේක තමයි මගේ ටෙනිස් තරග දිවියේ අමරණීය මොහොත” යයි ඓතිහාසික ජයග‍්‍රහණයෙන් පසුව ජොකෝවික් එසේ කීවේය.

”මට අද දැනුණු හැඟීම මීට කලින් රෝලන්ඞ් ගැරොස්වල දී දැනිලම නෑ” යයිද කීවේය.

ඇන්ඩි මරේ ඊයේ ලැබූ පරාජය ඔහු ජොකෝවික් හමුවේ පරාජයට පත්වූ 5 වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් මහා තරගයද විය. කෙසේවුවත්  දෙවැනි වටයේ දී තරගය කණපිට හැරවූ ජොකෝවික් ඊයේ තමාට වඩා හොඳින් කී‍්‍රඩා කළ බව මරේ කීවේය.

‘මේක නොවැක්ගේ දවස වුණා...ඔහු පසුගිය අවුරුද්ද පුරාම කැපවීමෙන් තරග කළා. අවුරුද්දක් ඇතුළත ග‍්‍රෑන්ඞ් ස්ලෑම් හතරම ජයගන්නවා කියන එක ඉතාමත් විශිෂ්ට දස්කමක්”

”තරගයෙන් පැරැදුණත් ජොකෝවික්ගේ ඒ වාර්තාවේ කොටස් කාරයෙක් වෙන්න ලැබීම සතුටක්” යයි මරේ පැවසීය.

 

- 077

 


අදහස් (0)

ජොකොවික් වාර්තා පොත අලූත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.