Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ජොකොවික්ගේ සිහිනය මියයයි

ජොකොවික්ගේ සිහිනය මියයයි

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විම්බල්ඩන් ටෙනිස් තරග ඉතිහාසයේ මෑත කාලයේ සිදුවූ වඩාත්ම ආන්දෝලනාත්මක පරාජයට උරුමකම් කී ලෝක ටෙනිස් පිටියේ නොම්මර එකේ ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකෝවික් ඊයේ අමෙරිකාවේ සෑම් කොරී හමුවේ ලකුණු 7-6 ක්, 6-1 ක්, 3-6 ක් සහ 7-6 ක් ලෙස පරාජයට පත්ව හිස් අතින් ගෙදර ගියේය.

ලන්ඩනයේ ඓතිහාසික විම්බල්ඩන් ටෙනිස් පිටියට එක්රොක් වී සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් අන්දමන්ද කළ ජොකෝවික්ගේ මේ පරාජය නිසා ලිත් වර්ෂයකදී ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා සියල්ලම සම්පූර්ණ කළ ක්‍රීඩකයා වීමට තිබූ ආසාවත් එහෙම පිටින්ම නැති කරගත්තේය. ඊයේ තරගයෙන් ඔහු පරද්ද්දී වසර 47 කින් මෙහා අලුත් කොට නොතිබූ ඒ වාර්තාවේ හරි අඩක්ම නිමාකොට තිබිණි.

ඇමරිකානු ජාතිකයකු වන 28 හැවිරිදි සෑම් කොරී සහ 29 හැවිරිදි ජොකෝවික් අතර තරගය පැවැත්වීමට තිබුණේ පෙරේදාය. එහෙත් තරගයේ මුල් භාගය අතරතුර ඒ වනවිටත් විම්බල්ඩන් ශූරතාවලියට දැඩි බාධාවක් වෙමින් තිබු වර්ෂාව කඩා පාත්වීමෙන් ඉතිරි භාගය ක්‍රීඩා කිරීම ඊයේට කල් දමා තිබිණි.

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පසුගිය වසරේ දී අවසන් මහා තරගයේදී පරාජය වීමෙන් පසුව ජොකෝවික් ප්‍රධාන තලයේ තරගයකින් පරාජයට පත් මුල්ම අවස්ථාව මෙය විය. එපමණක් නොව මීට වසර අටකට පෙර දෙවැනි වටයේදී පරාජය වීමෙන් පසුව ඔහු විම්බල්ඩන් තරගාවලියේ අවසන් අටදෙනා අතරට පැමිණ මිස ගෙදර ගියේ නැති ක්‍රීඩකයෙකි.

එහෙත් පිට පිට තුන්වැනි වරටත් විම්බල්ඩන් ශූරතාව ගෙදර ගෙන යාමේ අභිප්‍රායෙන් ලන්ඩනයට පැමිණි ජොකෝවික්ගේ සිහිනය බොඳකර දැමූ අමෙරිකානුවා ඊට පෙර ජොකෝවික් සමග 9 වතාවක් තරග වැදී දිනා තිබුණේ එක් තරගයක් පමණි.

“මේක නම් හිතාගන්නත් බෑ. විශේෂයෙන් විම්බල්ඩන් වගේ තරගාවලියක..” සිය විස්මිත ජයග්‍රහණයෙන් පසුව සෑම් කොරී කීවේ එසේය.

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 28 වැනි තැන සිටි කොරී මේ තරගයකට ක්‍රීඩා කළේ ආපසු ගෙදර යාමේ බලාපොරොත්තුව ඇතිවය. මෑත ඉතිහාසයේ ලොව බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයකු ලෙස කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා ජොකෝවික් පරාජය කිරීමට ලැබීම ඔහුට තවමත් සිහිනයකි.

මීට වසර හයකට පෙර ලන්ඩනයේ ක්වීන්ස් ක්ලබ් ටෙනිස් කිරුළ දිනූ කොරී කොහොමටත් තණකොළ සහිත ටෙනිස් පිටිවල ක්‍රීඩා කිරීමට රුසියෙකි. ඔහු සෙසු තරගාවලිවලට වඩා තණකොළ සහිත පිටියේ ක්‍රීඩා කරන විම්බල්ඩන් තරගාවලියට එක්වන්නේ මහත් ආසාවකිනි.

නොම්මර එකේ ටෙනිස් ක්‍රීඩකයා සමග කළ තරගය වර්ෂාව නිසා අතරමග නතර කොට පසුදිනට කල් දැමීමෙන් කොරී මානසිකව පීඩාවට පත් කළ සිදුවීමක් බව ඇතැමුන් කීවත් තමා එදින රාත්‍රියේ හිතේ හැටියට නිදාගත් බව කොරී කියයි.

“එදා රෑ මම හොඳින් නිදාගත්තා. වේලාසනින් රාත්‍රී ආහාරයත් ගත්තා. මගේ මවුපියන් වගේම පෙම්වතියත් මා එක්ක හිටියා. තව යාලුවෝ කිහිපදෙනකුත් හිටියා. අපි සෑහෙන සතුටකිනුයි හිටියේ” කොරී කීවේය.

ජොකෝවික්ගේ අනපේක්‍ෂිත පරාජයෙන් පසුව කාගෙත් නෙත් සිත් යොමුවූයේ ටෙනිස් පිටියේ ආධිපත්‍යය පතුරුවලමින් සිටින මේ සර්බියානුවා පරාජය කළේ කවුරුන්දැයි සොයා බැලීමටය. එහෙත් පරාජයේ වේදනාව සිතේ තුරුළුකරගත් ජොකෝවික් ගැන සොයා බැලුවේ අතලොස්සකි.

“ටෙනිස් පිටියෙන් පිට මට වෙනම ජීවිතයක් තියෙනවා”
“මට පවුලක් ඉන්නවා. ඒ නිසා මේ පරාජය විඳදරා ගන්න පුළුවනි. ඉස්සරහට කරන්න මට වැඩ ගොඩක්ම තියෙනවා. ටෙනිස් ක්‍රීඩාවේ නිරතවීමට වඩා අවධානය යොමුකළ යුතු දේවල් ගොඩක් මට තියෙනවා” යයි කී ජොකොවික්.....

“කොහොමවුණත් මේ අවුරුද්ද මගේ ටෙනිස් ජීවිතයේ සාර්ථක වසරක්. ඒ වගේම වැඩිපුර මහන්සි වුණු වසරක්. ඉතිං හැම අතින්ම බැලුවාම ඇත්තටම මටත් විවේකයක් ඕන කරලයි තිබුණේ” යයි කීවේද හිතට එකඟවම වන්නට පුළුවන.


අදහස් (0)

ජොකොවික්ගේ සිහිනය මියයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.