Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ටී-කප් පාපැදි සවාරියේ අදියර-1 ජය ඔමාර්ට

ටී-කප් පාපැදි සවාරියේ අදියර-1 ජය ඔමාර්ට

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ස්පෝට්රයිසන් ප්‍රවාහන නියෝජිත ආයතනය පළමු වරට සංවිධානය කරන ‘ටී--කප්’ ජාත්‍යන්තර පාපැදි සවාරියේ පළමු අදියර ජය ගැනීමට මැලේසියාවේ සොෆියාන් නබිල් ඔමාර් සමත් විය.

කිලෝ මීටර් 132.4 ක දුරකින් සමන්විත වූ පළමු අදියර පැය 2 යි, විනාඩි 54 යි, තත්ත්පර 14 කින් නිමා කරමින් ඔහු එම ජයග්‍රහණයට හිමිකම් කීවේය. ඒ අනුව තරගයේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා ලෙස සොෆියාන්, හෙට (8 වැනිදා) පැවැත්වෙන දෙවැනි අදියර සඳහා කහ පැහැති කමිසය පැළඳ තරග වැදීමට නියමිතය.  

සොෆියාන් සමග තවත් ක්‍රීඩකයන් හය දෙනෙක් එක පොකුරේ තරගය නිමා කළ අතර ඉන් පස් දෙනෙකුගේ තරග නිමි කාලය පළමු වැනියාගේ තරග නිමි කාලයම විය. පොකුරේ පැමිණි ක්‍රීඩකයන් අතරින් පිලිපීනයේ ඔකොනර් ජෝජ් ලුයිස් දෙවැනියා ලෙසත්, නෙදර්ලන්තයේ වොල්කර්ස් සැමුවෙල් තෙවැනියා ලෙසත් තරගය නිමා කළහ.

ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය පළමු පොක-ුරේ තරගය නිමා කළ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වූ අතර පොකුරේ සිටි ක්‍රීඩකයන් හත් දෙනා අතරින් සිව්වැනියා ලෙස ඔහු තරගය නිමා කළේය. ඒ අනුව තරගය නිමා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස බුද්ධික, දෙවැනි අදියරේදී නිල් පැහැති කමිසය පැළඳ තරගයට එක් වීමට නියමිතය.

දකුණු අසියානු රන් පදක්කම් ලාභී ගුවන් හමුදා ක්‍රීඩක ජීවන් ජයසිංහට හිමි වූයේ පළමු අදියරේ 9 වැනි ස්ථානයයි. දෙවැනි පොකුරේ පැමිණි ක්‍රීඩකයන් අතරින් දෙවැන්නා ලෙස ඔහු තරගය තරගය නිමා කළේය.

ජීවන්ගේ පසුපසින් පැමිණි පොලිස් ක්‍රීඩක සුදීර නිලංග පළමු අදියරේ 10 වැනියා බවට පත්විය. ජීවන් සහ සුදීර සමගින් දෙවැනි පොකුරේ ක්‍රීඩකයන් 10 දෙනෙක් එකවර තරගය නිමා කළ අතර ඔවුන්ගේ තරග නිමි කාලය පැය 2 යි, විනාඩි 55 යි, තත්ත්පර 56 ක් ලෙස සටහන් විය.

පළමු අදියර සඳහා ස්ප්‍රින්ට් අදියර දෙකක්ද ඇතුළත් වූ අතර එම අදියර දෙකම ජය ගැනීමට මැලේසියාවේ ලකසෙක් අයිවැන්ඩි සමත් විය. පළමු ස්ප්‍රින්ට් අදියර (කිලෝ මීටර් 26.2) කඩවතමඩුව නගරයෙන් ආරම්භ වූ අතර දෙවැනි ස්ප්‍රින්ට් අදියර (කිලෝ මීටර් 68.7) දිඹුලාගල පසුකර ඉදිරියට ඇදෙන විට මුණගැසෙන කළුකැලේ හංදියෙන් ආරම්භ විය.

ස්ප්‍රින්ට් අදියර දෙකම ජයගැනීමට ලකසෙක් සමත් වුවද, සමස්ත තරගයේදි ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව පළමු අදියරේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට දෙවැනි ස්ථානයට පත්  පිලිපීනයේ ඔකොනර් ජෝජ් ලුයිස් සමත් විය. ඒ අනුව තරගයේ වේගවත්ම  ක්‍රීඩකයා ලෙස ඔකොනර්, දෙවැනි අදියරේදී කොළ පැහැති කමිසය පැළඳ තරගයට එක් වීමට නියමිතය.

තරගයේ සමස්ත ප්‍රතිඵලය අනුව කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගැනීමට පිලිපීන කණ්ඩායම සමත් වී ඇති අතර එහි දෙවැනි ස්ථානය මැලේසියානු කණ්ඩායමටත්, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමටත් හිමි වී තිබේ.

අද (7 වැනිදා) පෙරවරු 9.00 ට පාසිකුඩාහි ‘පාසි විලාස්’ හෝටලය අසලින් ආරම්භ වූ මෙම අදියර ඔඞ්ඩාමාවඩි, නාවල් අඩි, කඩවතමඩුව,  වැලිකන්ද, සෙවනපිටිය, මනම්පිටිය, දලුක්කනේ, දිඹුලාගල, දෙහිඅත්තකණ්ඩිය සහ ගිරාදුරුකොට්ටේ යන නගර පසු කර මහියංගනයට පැමිණීමෙන් අවසන් විය. මහියංගනය නගරයේ සම්බුද්ධ ප්‍රතිමාව අසලින් පළමු අදියරේ නිමාව සටහන් කෙරිණ.

අද අදියර 1 සඳහා දෙස් විදෙස් කණ්ඩායම් 13ක් නියෝජනය කරමින් තරගකරුවන් 61 දෙනෙක් සහභාගී වූ අතර ඉන් 54 දෙනෙකු සාර්ථකව නිමාකිරීමට සමත්විය.

තරගයේ දෙවැනි අදියර හෙට (8 වැනිදා) පෙරවරු 9.00 ට මහියංගනය නගරයෙන් ආරම්භ වන අතර මහනුවර නගරයේ තිලංකා හෝටලය අසලින් එය අවසන් වීමට නියමිතය. එහිදී තරගකරුවන්ට හසලක, 18 වංගුව, උඩු දුම්බර, හුන්නස්ගිරිය, වික්ටෝරියා පාලම, තෙල්දෙණිය, හුළු ගඟ, දිගන, තැන්නේ කුඹුර, ලේවැල්ල පසු කරමින් කිලෝ මීටර් 91.6 ක දුරක් ගමන් කිරීමට නියමිතය.

දෙවැනි අදියරට එක් ස්ප්‍රින්ට් අදියරක් සහ කඳු තරණ දෙකක් ඇතුළත් වන අතර ස්ප්‍රින්ට් අදියර (මහියංගනයේ සිට) කිලෝ මීටර් 14.8 කින්ද, පළමු කඳු තරණය (18 වංගුවෙන් පසුව) කිලෝ මීටර් 35.5 කින්ද, දෙවැනි කඳු තරණය (හුන්නස්ගිරියේ සිට) කිලෝ මීටර් 48 කින්ද සමන්විත වේ.


තරග ප්‍රතිඵල

1 සොෆියාන් නබිල් ඔමාර් (මැලේසියාව) - පැය 2.54:14
2 ඔකොනර් ජෝජ් ලුයිස් (පිලිපීනය) - පැය 2.54:14
3 වොල්කර්ස් සැමුවෙල් (නෙදර්ලන්තය) - පැය 2.54:14
4 බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව) - පැය 2.54:14
5 මොහොමඞ් ඩැනියෙල් (මැලේසියාව) - පැය 2.54:14
6 ඩොයෙන්ලිං බැස්ටියන් (සිංගප්පූරුව) - පැය 2.54:14
7 නවර්රෝ එල්මර් (පිලිපීනය) - පැය 2.54:26
8 ෆිටි්‍රයන්ටෝ හැරි (නෙදර්නල්තය) - පැය 2.55:56
9 ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව) - පැය 2.55:56
10 සුදීර නිලංග (පොලිසිය) - පැය 2.55:56

 

ජයග්‍රාහී සොෆියාන් නබිල් ඔමාර් තරගය අවසන් කළ අයුරු...

තෙවැනි ස්ථානය හිමිකරගත් වෝකර්ස් සැමුවෙල් (වමේ සිට දෙවැනියා), පළමු ස්ථානය දිනූ සොෆියාන් නබිල් ඔමාර් (මැද), දෙවැනි ස්ථානය හිමිකරගත් ඔකොනර් ජෝජ් ලුයිස් (දකුණේ සිට දෙවැනියා) තරග අධ්‍යක්ෂ එන්. කරුණාරත්න මහතා සහ ලංකා ස්පෝට්රයිසන් ප්‍රවාහන නියෝජිත ආයතනයේ සභාපති තිලක් වීරසිංහ මහතා සමග...

දෙවැනි පොකුරේ ක්‍රීඩකයන් තරගයය නිමා කළ අයුරු... ජීවන් ජයසිංහ (දෙවැනියා) සහ සුදීර නිලංගද (තෙවැනියා) මෙහි සිටිති.

පළමු පොකුරේ ක්‍රීඩකයන් ඉදිරියට ඇදෙමින්...

 

ටී-කප් පාපැදි සවාරිය අදියර-1 උණුසුම් අවස්ථා...

(ඡායාරූප - ශානුක අරවින්ද)

 


අදහස් (0)

ටී-කප් පාපැදි සවාරියේ අදියර-1 ජය ඔමාර්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.