Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ 2018-2019 සභාපති ධූරයට තරග වැදීම සඳහා ඉදිරිපත්ව සිටින එම සංගමයේ උප සභාපති ලලිත් ලියනගේ මහතාගේ නාමයෝජනාව නීත්‍යානුකූළ යැයි පිළිගැනීමට ජී.ජී. වීරක්කොඩි මහතාගේ සභාපතීත්වයෙන් යුත් නිලවරණ කමිටුව ඊයේ (18 වැනිදා) තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී නිලවරණ කමිටු සභාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේසපන්දු තරගවලියකට සහභාගි වූ බව සනාථ කිරීම සඳහා ලියනගේ මහතා ඉදිරිපත් කර තිබූ සහතිකය පිළිගැනීමටත්, ඒ අනුව නිලවරණයේදී ඔහුට සභාපති ධූරයට තරග වැදීම සඳහා අවසර ලබාදීමටත් තීරණය කළ බවයි. කමිටුවේ තීරණය අද දිනය තුළ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට දන්වා යවන බවද එහිදී සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතවරියක ලෙස නිලවරණ කමිටුවට ඇතුළත්ව සිටින සුභානි උඩවත්ත මහත්මිය පමණක් ලියනගේ මහතාගේ නාමයෝජනාව පිළිගැනීම සඳහා නිලවරණ කමිටුව ගෙන ඇති තීරණයට සිය විරෝධය දක්වා තිබේ. එහෙත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් දෙදෙනා වන ජී.ජී. වීරක්කොඩි මහතාගේ (සභාපති) සහ චන්දන ලියනගේ මහතාගේ (ජාතික ඔලිම්පික් කමිටු නියෝජිත) කැමැත්තට අනුව 3 න් 2 ක බලයකින් නිලවරණ කමිටුව මෙම තීරණයට එළඹ තිබේ.
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නිලවරණය සඳහා ඉදිරිපත්ව තිබූ නාමයෝජනා විවෘත කිරීම, විරෝධතා බාරගැනීම සහ විරෝධතා විභාග කිරීම ඉකුත් 6 වැනිදා පැරණි ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේදී සිදුකෙරිණ. එහිදී ලියනගේ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේසපන්දු තරගවලට සහභාගි වූ බව සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ සහතිකයක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වූ අතර ඒ පිළිබඳව වැඩිදුර උපදෙස් ලබාගැනීම සඳහා එම සහතිකය ක්‍රීඩා අමාත්‍යංශයේ නීති අංශයට යොමු කිරීමට නිලවරණ කමිටුව පියවර ගත්තේය.
ක්‍රීඩා අමාත්‍යංශයේ නීති අංශයේ උපදෙස්වලට අනුව එම සහතිකය සම්බන්ධයෙන් තීරණයක් ලබාදීමට නිලවරණ කමිටුව අපොහොසත් විය. අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ වගකීම ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට පැවරීමට නිලවරණ කමිටුව පියවර ගත්තේය. එම සහතිකය ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙන් ලැබූ සහතිකයක් නම් ලියනගේ මහතාගේ නාමයෝජනාව පිළිගැනීමටත්, එය ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙන් ලැබූ සහතිකයක් නොවන්නේ නම් ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමටත් නිලවරණ කමිටුව එහිදී ශ්‍රී ලංකා මේසපන්දු සංගමට නිර්දේශ කළේය.
අදාල සහතිකයේ වලංගුභාවය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළබීම සඳහා ශ්‍රී ලංකා මේසපන්දු සංගමය විධායක කමිටු රැස්වීමක් කැඳවිය. මේසපන්දු සංගමයේ නිලධාරීන් 6 දෙනෙක් සහ අනු සංගම් 15 ක නියෝජිතයෝ එම රැස්වීමට සහභාගි වූහ. කෙසේ වුවත් ලලිත් ලියනගේ මහතාද සංගමයේ උප සභාපතිවරයකු ලෙස එම විධායක කමිටු රැස්වීමට සහභාගි වීම නිසා එහිදීද අවසන් තීරණයකට පැමිණීමට නොහැකි විය.
තමා ශ්‍රී ලංකාව නියෝජනය කළ බවට ලියනගේ මහතා නිලවරණ කමිටුවට ඉදිරිපත් කර ඇති සහතිකය 2017 වසරේ මෙරටදී පැවැති ප්‍රවීනයන්ගේ ජාත්‍යන්තර මේසපන්දු තරගාවලියකට සහභාගිත්වය වෙනුවෙන් ලැබූ සහතිකයක් බව පැවැවසේ. ලියනගේ මහතා එම තරගාවලියට සහභාගි වී ඇත්තේ තමා සභාපතීත්වය දරන ස්ටැග් මේසපන්දු ක්‍රීඩා සමාජය නියොජ්නය කරමින් බවටත්, ස්ටැග් මේසපන්දු ක්‍රීඩා සමාජය හැරුණුකොට මෙරට තවත් ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා සංගම් රැසකින් එම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් සහභාගි වී ඇති බවටත් මින් පෙර කරුණු අනාවරණය විය.
එවැනි තත්වයක් තිබියදී ලියනගේ මහතාගේ නාමයෝජනාව පිළිගැනීමට ගෙන තිබෙන තීරණය මේ වන විට මේසපන්දු ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇතැයිද වාර්තා වේ. එහිදී නිලවරණ කමිටුවේ තීරණය අභියෝගයට ලක්කරමින් ඔවුන් පවසා සිටින්නේ ක්‍රීඩා ඉසව්වකදී තමා ශ්‍රී ලංකාව නියෝජනය කළා යැයි යමෙක් කියන්නේ නම් ඔහු පිළිගත් තේරීම් කමිටුවක් මගින් හෝ තේරීම් තරගාවලියට සහභාගි වී ඉන් නිර්දේශ වුණු ක්‍රීඩකයකු විය යුතු බවයි. එසේ නොවන අයෙක් ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස පිළිගැනීම ක්‍රීඩා නීති රීතිවලට පටහැනි බව ඒ පිළිබඳව අදහස් දක්වන්නෝ පවසති.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ වැඩ බලන සභාපති චතුර ජයේන්ද්‍ර මහතාගෙන් කළ විමසුමකදී ඔහු ‘ලංකාදීප’යට පවසා සිටියේ නිලවරණ කමිටුව තවමත් එවැනි තීරණයක් සම්බන්ධයෙන් තම සංගමය දැනුවත් කර නොමැති බවයි. යම් හෙයකින් ලලිත් ලියනගේ මහතාගේ නාමයෝජනාව පිළිගැනීමට නිලවරණ කමිටුව පියවර ගන්නේ නම් එම තීරණයට විරුද්ධ වීමට තමාට හෝ සංගමයේ සෙසු නිලධාරීන්ට කිසිදු අයිතියක් නැති බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.