Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් වාර්තා විගනනය කර අනුමැතිය දී අවසන්ව තිබෙන බැවින් ඒ පිළිබඳව දැන් ඉදිරිපත් වෙමින් තිබෙන චෝදනා ගැන සාකච්ඡා කිරීම නිෂ්ඵල ක්‍රියාවක් පමණක් වන බව එම කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා කොළඹ ‘සිනමන් ලේක්’ හෝටලයේ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
එම ගිණුම් වාර්තා විගණනය කරමින් රජයේ විගණකාධිකාපතිවරයා ලබා දී තිබෙන ඇතැම් නිගමන වාර්තාවේ දැක්වෙන අක්‍රමිකතා හා චෝදනා ලෙස අර්ථ ගැන්වීමට ඇතැම් අය උත්සාහ ගන්නා නමුත් එහි කිසිදු තැනක ජාතික ඔලිම්පික් කමිටුවේ දූෂණ චෝදනා එල්ලවී නැතැයි මැක්ස්වල් ද සිල්වා මහතා පැවසුවේ එහි පසුගිය වසර අටක ගිණුම් වාර්තා විගණනය කර අවසන්වීම නිමිත්තෙන් කරුණු දැක්වීම සඳහා පැවති මාධ්‍ය හමුවේදීය.
එම අවස්ථාවට සහභාගීවී සිටි කමිටුවේ භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතාද එහිදී අදහස් දැක්වූ අතර මෙම මාධ්‍ය හමුවට එහි වත්මන් උපභාණ්ඩාගාරික චන්දන පෙරේරා මහතා ද සහභාගි වී සිටියේය.
ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය (2018-22) මෙම 23 වැනිදා පැවැත්වීමට නියමිතය. එහිදී පසුගිය නිල කාලයන් දෙකකට අයත් කමිටුවේ ගිණුම් වාර්තා විගණනය කර අවසන් කිරීමට නොබෝදා එම කමිටුව පියවර ගත්තාය.
මෙසේ ඇතැම් නිගමනයන්ට යටත්ව රජයේ විගණකාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇත්තේ 2010 සිට 2016 දක්වා කමිටුවේ නිල පාලන කාලයන් දෙකකට අයත් ගිණුම් වාර්තා සඳහාය.
මෙම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් ගණනාවකටම පිළිතුරු දෙමින් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා මෙසේ ද පැවසීය.
“ගිණුම් වාර්තාවලට විගණනයේ දී නිගමන ලබාදීම සාමාන්‍ය දෙයක්. එයින් කියවෙන්නෙ නෑ ඒ ගිණුම් වාර්තාවල වැරදි හෝ දෝෂ තිබෙනවා කියලා. ඒ විගණන වාර්තාවලින් කියලා නෑ කමිටුවේ කවුරුවත් සල්ලි හොරකම් කරලා තිබෙනවා කියලා. නිගමණවලින් කවුරුවත් වැරදිකරුවන් කරන්නත් බෑ.
මේ අතර මාධ්‍ය හමුවේ දී කමිටුවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු කලාපය මුද්‍රණය සඳහා මුදාහැරිය බව කියන රුපියල් මිලියන 5කට වැඩි මුදලක් සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී ඔවුන් පෙන්වා දුන්නේ එසේ ඒ සඳහා එවැනි මුදලක් මුදාහැර තිබුණත් මේ දක්වා සමරු කලාප මුද්‍රණය කිරීමත් සිදුවී නැති බවයි.
ඊට පිළිතුරු දුන් මැක්ස්වල් ද සිල්වා මහතා එම කටයුත්තේ දී කිසියම් වරදක් වී ඇතැයි පිළිගැනීමට සිදුව තිබෙන බවත් ඊට වගකිව යුත්තේ සමරු කලාප මුද්‍රණය කිරීමේ කටයුත්ත පැවරුණු කමිටුවේ කටයුතු කළ දේවා හේන්රි මහතා ඇතුළු නිලධාරීන් කීපදෙනා බවයි.
කෙසේ වුවත් සංවත්සරය මේ වනවිට පසුවී තිබුණත් එම සමරු පොත් මුද්‍රණ කටයුත්ත අවසන් කිරීම එම නිලධාරීන් කීපදෙනාගේ වගකීමක් බවත් මැක්ස්වල් ද සිල්වා මහතා පැවසීය.
ජාතික ඔලිම්පික් කමිටුව පිළිගන්නේ රටේ ක්‍රීඩා නීතිය ද? අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ නීතිය ද? යන්න පිළිබඳව එහිදී මාධ්‍යවේදීන් කමිටුවේ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
“ අපි රටේ නීතියට ගරු කරනවා. ඒ වගේම අපට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රඥප්තියට බැඳී කටයුතු කිරීමට සිදුවීම අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. එතනදී රටේ ක්‍රීඩා නීතියටත් අවනත වෙමින් කමිටුව කටයුතු කරන්න හැමවිටම උනන්දු වෙනවා.
තමන්ට හෝ කමිටුවේ භාණ්ඩාගාරික ධුරය දරන ගාමිණි ජයසිංහ මහතාට හෝ ජාතික ක්‍රීඩා සංගම්හි තනතුරු දැරීම තහනම් කරමින් ක්‍රීඩා ඇමැතිවරයා කිසිදු ලිපියක් මේ දක්වා ඉදිරිපත් කර නැතැයි ද මාධ්‍යවේදීන්ගේ විමසිම් වලදී මැක්ස්වල් ද සිල්වා මහතා අවධාරණය කර සිටියේය.
මේ වනවිට ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ උපභාණ්ඩාගාරික ධුරය දරන මැක්ස්වල් ද සිල්වා මහතා යළි කමිටුවේ ලේකම්ධුරයට නාමයෝජනා බාරදී තිබේ. වත්මන් භාණ්ඩාගාරික ගාමිණි ජයසිංහ මහතා ශ්‍රී ලංකා හොකි සම්මේලනය නියෝජනය කරමින් මෙවරත් කමිටුවේ භාණ්ඩාගාරික ධුරයට නාමයෝජනා බාරදී තිබේ.
පසුගිය කාලයේ කමිටුවේ ගිණුම් කටයුතුවල අඩුපාඩු හා දූෂණ තිබේ නම් ඒ පිළිබඳව පළමුව වගකිව යුත්තේ ඒ වනවිට මුල්‍ය කමිටුවේ සභාපති ධූරය දැරූ රොහාන් ප්‍රනාන්දු මහතා බව ඔහු පැවසීය.
මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන අවස්ථාවට නිලවරණයේදී කමිටුවේ සභාපති ධූරය තරග වදින සුරේෂ් සුප්‍රමනියම් මහතා ඇතුළු නිලවරණයේ දී ඔහුට සහයෝගය දක්වාන ජාතික ක්‍රීඩා සංගම් රැසක ප්‍රධානිහු සහභාගිවී සිටියහ.
ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්. එහි භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතා ද මෙහි වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.