Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන වසරේ (2019) මාර්තු මස නේපාලයේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් ලබාදෙන විදේශීය පුහුණු පාඨමාලා සඳහා මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේදී ක්‍රීඩා අමාත්‍යංශය පසුගිය වසරේදී පැවැති (2017) ශ්‍රේණිගත කිරීමේ පදනම් කරගෙන ඇතැයි ‘ලංකාදීප’යට වාර්තා වේ. මේසපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාව ජූලි මස 5 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා චීනයේදී පැවැත්වේ.
වාර්තා වන පරිදි ක්‍රීඩා අමාතංශය ඊට යොමු කිරීමට සුදානමින් සිටින්නේ මේ වසරේ (2018) ජනවාරි මස පැවැති 2017 වසරට අදාල ජාතික මේසපන්දු ශූරතාවලියෙන් පසුව යාවත්කාලීන කළ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම රැදී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනාය.
ජාතික මේසපන්දු ශූරතාවලියට අමතරව 2017 වසරේදී පැවැති ඉසුරු දේවප්‍රිය අභියෝග ශූරතාවලිය, ෆියුචර් ස්පින් ශූරතාවලිය සහ අනුරාධපුර ශූරතාවලිය යන විවෘත මේසපන්දු තරගාවලි තුනේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ලකුණුද එම ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් කර තිබේ. කෙසේ වුවත් මෙම පුහුණු සංචාරය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේදී මේ වසර (2018) තුළදී පැවැති එකම විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලිය වූ මහීපාල හේරත් අභියෝග කුසලාන තරාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා කෙරෙහි බලධාරීන් අවධානය යොමු නොකිරීම විමතියට කරුණකි.
ඉකුත් ඉරිදා (24 වැනිදා) කෑගලු විදුහල් ගෘහස්ත ක්‍රීඩාංණයේදී නිමාව දුටු මහීපාල හේරත් අභියෝග කුසලාන තරාවලියේදී ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියෙන් පසුවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුම ශ්‍රේණිගත කිරීම්හි පසුපසින් රැදී සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හමුවේ පරාජයට පත්වන අයුරු දැකගත හැකි විය. පිරිමි ශ්‍රේණිගත කිරීම් අතර පළමු 10 දෙනාට ඇතුළත් නොවූ ක්‍රීඩකයෙක් වන සුපුන වරුසවිතාන එම තරගාවලියේ විවෘත පිරිමි අනු ශූරතාව හිමිකරගැනීමත්, කාන්තා ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයේ රැදී සිටින ජිතාරා වර්ණකුළසූරිය විවෘත කාන්තා අනු ශූරතාව හිමිකරගැනීමත් ඊට කදිම නිදසුනක් ලෙස හැඳින්විය හැකිය.
විවෘත පිරිමි පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ශ්‍රේණිගත කිරීම්හි සිවුවැනි ස්ථානයේ රැදී සිටි චලිත රංජන පරාජය කළ සුපුන වරුසවිතාන, අවසන් පූර්ව වටයේ තරගයකදී ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසු වූ රොහාන් සිරිසේනද පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. විවෘත කාන්තා අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැදී සිටි එරන්දි වරුසවිතාන පරාජය කළ ජිතාරා වර්ණකුළසූරිය, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේ තරගයකදී ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසු වූ ඉෂාරා මධුරංගි පරාජය කරමිනි.
කාන්තා විවෘත ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි සහ පස්වැනි ස්ථානවල පසු වූ හංසනී පියුමිලා සහ චමත්සරා ප්‍රනාන්දු යන ක්‍රීඩිකාවන් එම තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී පිළිවෙලින් සනායා බුද්ධදාස සහ කවිෂ්කා කාවින්දි හමුවේ පරාජයට පත්වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. එහිදී සැලකිය යුතු කරුණ වූයේ සනායා මෙන්ම කවිෂ්කාද ශ්‍රේණිගත කිරීම් පළමු 10 දෙනා අතර සිටින ක්‍රීඩිකාවන් නොවීමයි.
ලබන වසරේ (2019) පැවැත්වීමට නියමිත තරගාවලියක් සඳහා පුහුණුවක් ලබාදීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉකුත් වසරේ (2017) ශ්‍රේණිගත කිරීම් සැලකිල්ලට ගනිමින් තෝරා ගැනීම කොතෙක් දුරට සාධාරණද යන්න මේස පන්දු ක්ෂේත්‍රයේ කතාබහට ලක්වී තිබේ. එවැනි පියවරක් මගින් මේ වසර තුළ ඉහළ දස්කම් දක්වමින් සිටින නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවද මේසපන්දු ප්‍රවීණයෝ කියති.
අදාල විදෙස් පුහුණු පාඨමාලාවට යැවීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය මගින් තෝරාගෙන ඇතැයි කියන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනා අතර වයස අවුරුදු 35 ට වැඩි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකුද සිටින බව ‘ලංකාදීප’යට වාර්තා වේ. මේස පන්දු ක්‍රීඩාව ඉතාමත් ප්‍රබලව පවතින රටක් වන චීනයේදී ලැබෙන මෙම පුහුණු අවස්ථාව ඉතාමත් කලතුරකින් හිමිවන බවත් මෙවන් පුහුණු පාඨමාලා සඳහා ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමට ආසන්නව සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහභාගි කරවීම නිසා දිගු ගමනක් යෑමට සූදානමින් සිටින දක්ෂ යොවුන් ක්‍රීඩකයන්ට හිමිවිය යුතු අවස්ථා අහිමිවීම ඉතා කණගාටු දායක කරුණක් බව මේසපන්දු ප්‍රවීණයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.
මේ අතර ‘ලංකාදීප’ වැඩි දුරටත් කළ සොයා බැලීමකදී දැනගත හැකි වූයේ මෙම පුහුණු පාඨමාලාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනාට අමතරව පුහුණුකරුවන් පස් දෙනෙක්ද සහභාගි කරවීමට අමාත්‍යංශයට අවස්ථාව හිමිවී ඇති බවයි. එහෙත් මේ වන තුරුත් ඊට සහභාගි කරවන පුහුණුකරුවන් කවුදැයි යන්න මෙන්ම ඔවුන් තෝරාගත් ආකාරය පිළිබඳවද කිසිවක් සඳහන් නොවේ.
ක්‍රීඩා ආමාත්‍යංශය වෙනුවෙන් මෙම පුහුණු පාඨමාලාවේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කරන එහි අධ්‍යක්ෂවරයකු වන අයි.පී. විජේරත්න මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී පුහුණු පාඨමාලාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් ඔහු වැලකී සිටියේය. එහිදී ඔහු කියා සිටියේ අදාල පුහුණු පාඨමාලාව සම්බන්ධයෙන් තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. දැනගැනීමට අවශ්‍ය යමක් ඇත්නම් එය ක්‍රීඩා අමාත්‍යංශයෙන් අසා දැනගන්නා ලෙසද එහිදී ඔහු පැවසීය. එහෙත් ඒ පිළිබඳව තොරතුරු ලබාගත හැකි වෙනත් නිලධාරියෙන් සම්බන්ධ කර දීමෙන්ද ඔහු වැලකී සිටියේය.
අනතුරුව ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා වැඩබලන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් බුවනෙක හේරත් මහතා දුරකතනයෙන් සම්බන්ධකර ගැනීමට කිහිප වරක්ම උත්සාහ කළද ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වීය. අවසාන වශයෙන් ශ්‍රී ලංකා මේසපන්දු සංගමෙයේ වැඩබලන සභාපති චතුර ජයේන්ද්‍ර මහතාගෙන් මෙම පුහුණු පාඨමාලාව සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කීවේය.
“ක්‍රීඩා අමාත්‍යංශය අපෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව ඉල්ලුවා. අපි ඒක එයාලට යැවුවා. නමුත් මේ පුහුණු පාඨමාලාවට යොවුන් ක්‍රීඩකයන් සහභාගි කරවන්න තමයි සංගමයක් විදියට අපි කැමති. මොකද එයාලට තමා වැඩි අවස්ථාවක් තියෙන්නේ ඉදිරියේදී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා දෙන්න. ඒත් මේ වෙනකොට අවසන් තීරණය තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශය අතේ.”
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජයේන්ද්‍ර මහතා කියා සිටියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතා අනුව ශ්‍රේණිගත කිරීම් නිතර නිතර වෙනස් වන බැවින් ඉකුත් වසරේ ශ්‍රේණිගත කිරීම් පදනම් කරගනිමින් ලබන වසරේ පැවැත්වෙන තරගාවලියක් සඳහා ලබාදෙන විදෙස් පුහුණුවකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමට තමාට එකඟ විය නොහැකි බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.