Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මේසපන්දු නිලවරණයේ නාමයෝජනා විවෘත කිරීම 6 දා

මේසපන්දු නිලවරණයේ නාමයෝජනා විවෘත කිරීම 6 දා

Nisanka Sandeepani - 2018 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගය මත දින නියමයකින් තොරව කල් දැමුණ ශ්‍රී ලංකා මේසපන්දු නිලවරණයේ නාමයෝජනා විවෘත කිරීම, ක්‍රීඩා අමාත්‍යංශයේ උපදෙස් මත මේ මස 6 වැනිදා පැවැත්වීමට එම සංගමය කටයුතු යොදා ඇතැයි ‘ලංකාදීප’යට වාර්තා වේ. ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශකවරයකු සහ මේසපන්දු සංගමයේ නිලධාරීන් අතර සැප්තැම්බර් මස 28 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව නිලවරණයේ නාමයෝජනා විවෘත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිව හිමිවී ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට ලැබේ. 

සැප්තැම්බර් මස 22 වැනිදා පැරණි ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම නාමයෝජනා විවෘත කිරීම අමාත්‍යවරයාගේ නියෝගය මත දින නියමයකින් තොරව කල් දැමුණ අතර නිලවරණ කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරියකු පත්කර නොතිබීමද නාමයෝජනා විවෘත කිරීම කල්දැමීමට ප්‍රධානතම හේතුවක් විය. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ලේකම් කසුන් විතාන මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ මහතා තමා වෙත ලිපියක් යොමු කරමින් නාමයෝජනා විවෘත කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ලබාදුන් බවයි. 

තවද නාමයෝජනා විවෘත කිරීම සඳහා නිලවරණ කමිටුවට අඩුවක්ව පැවැති ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජනය සපුරාලීමේ අරමුණින් ඒ සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධානියක වන සුභානි උඩවත්ත මහත්මිය පත් කිරීමටද එහිදී ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 

ජූනි මස 25 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මහ සභා රැස්වීමකදී නිලවරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කොළඹ මහ නරග සභාවේ හිටපු නාගරික කොමසාරිස්වරයකු වන ජී.ජී. වීරක්කොඩි මහතා පත්කර ගැනිණ. ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයකු ලෙස චන්දන ලියනගේ මහතාද නිලවරණ කමිටුවට ඇතුළත්ව සිටියි. 

ඒ අනුව මේ මස 6 වැනිදා පෙරවරු 9.00 ට පැරණි ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේදී ත්‍රිපුද්ගල නිලවරණ කමිටුව ඉදිරියේ මේසපන්දු සංගමයේ නිලවරණය සඳහා ඉදිරිපත්ව ඇති නාමයෝජනා විවෘත කෙරෙනු ඇත. එදිනම පෙරවරු 11.00 සිට පස්වරු 2.00 දක්වා එම නාමයෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට ඡන්ද බලය හිමි ක්‍රීඩා සංගම්වලට අවස්ථාව හිමිවනු ඇත. ඉදිරිපත්වන විරෝධතා විභාග කිරීම සහ අවසන් නාමයෝජනා ලැයිස්තුව සකස් කිරීම පස්වරු 2.30 ට ආරම්භ කිරීමට නියමිතය. 

අවසන් නාමයෝජනා ලැයිස්තුව සකස් කිරීමෙන් අනතුරුව දින 14 ක් ඇතුළත සංගමයේ මහ සභා රැස්වීම සහ නිලවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව එම සංගමයේ ලේකම් කසුන් විතාන මහතා පැවැසීය. බොහෝ දුරට නිලවරණය පැවැත්වෙන දිනය මේ මස 20 වැනිදා (සෙනසුරාදා) හෝ 21 වැනිදා (ඉරිදා) විය හැකි බවද හෙතෙම සඳහන් කළේය. 

මෙම නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මේසපන්දු සංගමයේ අනු සංගම් 30 ක නියෝජිතයන් 60 දෙනෙකුට අවස්ථාව හිමිවනු ඇත. එහිදී සභාපති, උප සභාපතිවරුන් (අට දෙනෙක්), ලේකම්, සහකාර ලේකම්, භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික යන තනතුරු සඳහා නිලධාරීන් 13 දෙනෙක් තෝරා පත්කර ගැනීමට නියමිතය. 

 


අදහස් (0)

මේසපන්දු නිලවරණයේ නාමයෝජනා විවෘත කිරීම 6 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.