Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner රජරටට ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකයක්

රජරටට ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකයක්

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තරග පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම්වලින් සමන්විතව මිහින්තලේ රජරට  විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදිකෙරුණු පිහිනුම් තටාකය ඉකුත්දා විවෘත කෙරුණි.

රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන්  ප්‍රධාන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනාව මධ්‍යයේ පීත්ත පටිය කපා ඉන් අතුරුව පිහිනුම් තටාකය වෙත පිරිත් පැන් ඉස එය විවෘත කරනු ලැබුයේ රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා විසිනි.

රජරට  විශ්වවිද්‍යලයේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විතව ඉදිකරන ලද මෙම පිහිනුම් තටාකය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් වැයකොට තිබෙන මුදල රුපියල් දශලක්ෂ 140කි.

මීටර් 50ක් පමණ දිගින් යුතු මෙම පිහිනුම් තටාකය විවෘත කිරීමෙන් අනතුරුව රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් සහභාගි වූ ප්‍රදර්ශන පිහිනුම් තරගයක් ද එහි පැවැත්විණි. ඉන් ජය ගත් සිසුන් සඳහා සහතිකපත් හා කුසලාන ප්‍රදානය සිදු කෙරුණේද උපකුලපති මහාචාර්ය විජේවර්ධන මහතා අතිනි.

පිහිණුම් තටාකය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති චාම් උත්සවයේදී අදහස් දක්වමින් උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා කියා සිටියේ, රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කරන්නා සේම සිසුන්ගේ බාහිර ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ද කාලීනව සිදු කරගෙන යන බවයි.

රජරට විශ්වවිද්‍යාලයට අඩුවක් සපුරාලමින් ඉදිකෙරුණු මේ පිහිනුම් තටාකය ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තරග පැවැත්වීමට සුදුසු පරිදි ඉදිකර තිබෙන බව කී උපකුලපතිවරයා, මෙය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ට හා අනෙකුත් අය සඳහා ද පිහිනුම් පුහුණුවීම් සඳහා තරග පැවැත්වීම සඳහාත් ලබා දෙන බව පැවසීය.

මීට අමතරව රජරට  විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රුපියල් දශලක්ෂ 150 ක වියදමින් දැනට ඉදිකෙරෙමින් පවතින ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණය ද තව නොබෝ දිනකින් විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බවද උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට රජරට විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල පීඨාධිපතිවරු ද, ලේඛකාධිකාරි ඒ.එම්.ජී.බී. අබේසිංහ මහතා ඇතුළු අධ්‍යාපන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ බොහෝ පිරිසක් ද සහභාගි වූහ.

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පිරිත් පැන් ඉස පිහිනුම් තටාකය විවෘත කළ අයුරු. එම අවස්ථාවට එක්වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර් ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියෝ ද ඡායාරූපයේ වෙති. (ඡායාරූප - අතුල බණ්ඩාර)

 


අදහස් (0)

රජරටට ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.