Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner රැජනගේ ගිනිසිළුව සෙනසුරාදා ශී‍්‍ර ලංකාවට

රැජනගේ ගිනිසිළුව සෙනසුරාදා ශී‍්‍ර ලංකාවට

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී 2014 ජුලි 23 වැනිදා ආරම්භ වන 20 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ ගිනිසිළුව (රැජනගේ ගිණිසිළුව) ලබන සෙනසුරාදා (19) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

ලොව පුරා රටවල් 70 ක ගිණිසිළුව රැගෙන යන අතරේ එය ශ්‍රී ලංකාවටද ගෙනේ.

ඒ නිමිත්තෙන් නිල උත්සව කීපයක් ලබන සෙනසුරාදා හා ඉරිදා (19-20) කොළඹ හා මහනුවරදී පැවැත්වෙන බව ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කරයි.

ක‍්‍රීඩා උළෙල ඇරඹීමට පෙර ගිණිසිළුව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය දරන රටවල් 70ක් හරහා රැගෙන යාම සිදු කරන අතර ඒ අනුව ඉන්දියාව, බංග්ලාදේශය හා පාකිස්ථානයේ සංචාරයකින් පසු ගිණිසිළුව අනිද්දා ශ්‍රී ලංකාවට ළඟාවේ.
දින 248 ක් පුරා රටවල් 70 ක් හරහා රැගෙන යන පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ ගිණිසිළුව ගමන් ගන්නා මුළු දුර කිලෝමීටර 190,000කට ආසන්න වේ.

කටුනායක ගුවන් තොටුපොළට සෙනසුරාදා පස්වරු 1.30ට විශේෂ ගුවන් යානයකින් රැගෙන එන රැජනගේ ගිණිසිළුව එහි විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී පිළිගැනෙන අතර රිය පෙරහැරකින් කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට ගෙනෙයි.

එතැන් සිට නැවතත් රිය පෙරහරකින් නිදහස් චතුරස‍්‍රයට ගෙන යනු ලැබේ. එදින පස්වරු 4.30ට ටොරින්ටන් පෙදෙස් නිදහස් චතුරශ‍්‍රය වටා පාසල් සිසු සිසුවියන් ගිනිසිළුව රැගෙන ධාවනයේ යෙදෙන අතර ගිණිසිළුව අනතුරුව ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් නිල නිවස වෙත රැගෙන යනු ඇත.

එහිදී ඒ නිමිත්තෙන් විශේෂ සමරු මුද්දර හතරක් නිකුත් කෙරේ. ඉරිදා පෙරවරු 7.45ට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන වාෂ්ප දුම්රියකින් (වයිස්රෝයි ස්පෙෂල්) මහනුවරදී පැවැත්වෙන පිළිගැනීමේ උත්සවය සඳහා ගිනිසිළුව රැගෙන යාමට කටයුතු යොදා තිබේ.

වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී පෙරවරු 9ටත් පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පෙරවරු 9.50ත්, රඹුක්කන දුම්රිය ස්ථානයේදී පෙරවරු 10.20 ටත් හා කඩුගන්නාව දුම්රිය ස්ථානයේදී පස්වරු 1.50ටත් ගිනිසිළුව පිළිගැනීමේ උත්සව සංවිධානය කර තිබේ.

එම පිළිගැනිම් අවස්ථා අතර විශේෂ ස්ථානයක් ගන්නේ පින්නවල ඇත් අතුරු සෙවණ වෙත රැගෙන යන ගිනිසිළුව එහිදී අලි ඇතුන් මධ්‍යයේ පිළිගැනීමට කටයුතු කිරිමය.

ඉරිදා පස්වරු 3.00 ට මහනුවර දුම්රිය ස්ථානයට ළඟාවන ගිනිසිළුව මහනුවර පුරපතිවරයා විසින් පිළිගනු ලැබීමෙන් පසු පාසල් සිසු සිසුවියන්, අලි ඇතුන්, නැටුම් ගැයුම්, තූර්ය වාදන මධ්‍යයේ විසිතුරු පෙරහරකින් නුවර වැව වටා ගෙනගොස් ආශිර්වාද ගැන්වීම සඳහා මහනුවර දළදා මාළිගාවට රැගෙන යයි.

අනතුරුව මහනුවරදී කෙරෙන හින්දු, කතෝලික හා මුස්ලිම් ආගමික ආශිර්වාද මෙහෙයයන්ගෙන් පසු ගිනිසිළුව පිළිගැනිමේ ශ්‍රී ලංකාවේ නිල කටයුතු අවසන් කෙරේ.

එයින් පසු ගිනිසිළුව මාලදිවයින බලා රැගෙන යාමට නියමිතය. ශ්‍රී ලංකාවේදී සිදුකෙරෙන ගිනිසිළුව පිළිගැනීමේ නිල උත්සව අවස්ථාවලට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන් රැසක්ද විදේශීය දුත පිරිස් ද සහභාගිවීමට නියමිතය.

ග්ලාස්ගෝ පොදුරද මඩුලූ ක‍්‍රීඩා උළෙලේ ගිනිසිළුව එංගලන්තයේ බකිංහෑම් මාළිගාවේදී දෙවැනි එළිසබෙත් රැජනගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයකින් පසුව රටවල් 70ක් හරහා රැගෙන යාම ආරම්භ විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල 2014 ජුලි 23 වැනිදා සිට අගෝස්තු 3 වැනිදා දක්වා ග්ලාස්ගෝ නුවරදී පැවැත්වේ. ග්ලාස්ගෝ නුවර 20 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ සත්කාරය ලබා ගන්නේ වසර 2007 නොවැම්බර් 10 වැනිදා කොළඹදී පැවැති ඡන්ද විමසුමේදී නයිජීරියාවේ අබුජා නගරය පරාජයට පත් කරමිනි.

ගිනිසිළුව පිළිගැනීමේ නිල උත්සව අවස්ථා සඳහා චින්තන විදානගේ, පුෂ්පමාලි රාමනායක, මාලි වික‍්‍රමසිංහ ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා පදක්කම්ලාභීහු රැසක්ද ආරාධනා ලබා සිටිති.

 


අදහස් (0)

රැජනගේ ගිනිසිළුව සෙනසුරාදා ශී‍්‍ර ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.