Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner විම්බල්ඩන් නාමපුවරුවට මුගුරූසාත් එක්වෙයි

විම්බල්ඩන් නාමපුවරුවට මුගුරූසාත් එක්වෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ටෙනිස් පිටියේ වඩාත්ම අත්දැකීම් බහුල ක්‍රීඩිකාව වන අමෙරිකාවේ වීනස් විලියම්ස් ලකුණු 7-5 ක් සහ 6-0 ක් ලෙස පරාජය කළ ගාබීන් මුගුරූසා වසර 23 කට පසුව ස්පාඤ්ඤයට විම්බල්ඩන් ටෙනිස් ශූරතාවක් රැගෙන ගියාය.

මීට පෙර පස්වතාවක්ම විම්බල්ඩන් කිරුළ අමෙරිකාවට රැගෙන ගිය වීනස් ඊයේ ලන්ඩනයේ ඕල් ඉන්ග්ලන්ඞ් ක්ලබ් හී පැවැති අවසන් තරගයේදී අන්දමන්ද කළ මුගුරූසා සිය පළමු විම්බල්ඩන් ශූරතාව දිනාගත්තේ කාගෙත් නළල්තල රැළි ගන්වමිනි. එය ස්පාඤ්ඤ ක්‍රීඩිකාවක් විම්බල්ඩන් කිරුළ දිනූ දෙවැනි අවස්ථාව ද විය.

අන්තර්ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ 14 වැනි තැන සිටි මුගුරූසා ඊයේ දිනාගත්තේ ඇගේ දෙවැනි  ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවයි. ඊට පෙර ඇය පසුගිය වසරේ ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දිනාගත්තේ වීනස්ගේ නැගණිය සෙරීනා පරාජය කරමිනි. ඒ අනුව ග්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් මහා තරගවලදී විලියම්ස් සොයුරියන් දෙදෙනාවම පරාජය කළ ලොව පළමු ක්‍රීඩිකාව වන්නේද මුගුරූසාය.

වසර 2015 දී විම්බල්ඩන් අවසන් තරගයට සුදුසුකම් ලැබූ මුගුරූසා එවර සෙරීනා විලියම්ස් හමුවේ පරාජයට පත්වූවාය. ඇතැමුන් කියන්නේ ඊයේ තරගයේදී සෙරීනාගේ සොයුරිය පරාජය කරමින් ඇය ඉතා අලංකාරව එම පරාජයේ වාඩුව පිරිමසා ගත් බවකි.

ස්පාඤ්ඤයේ වසර 23 ක විම්බල්ඩන් ශූරතා ඉඩෝරය මුගුරූසාගේ ජයග්‍රහණයෙන් නිමාවට පත්වෙද්දී ඇගේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළේ වසර 23 කට පෙර අවසන් වතාවට ස්පාඤ්ඤයට විම්බල්ඩන් ටෙනිස් කිරුළ රැගෙන ගිය කොන්චිටා මාටිනස් වීම දෛවෝපගත සිදුවීමකි. කොන්චිටා මෙවර තරගාවලිය පුරා මුගුරූසාට සහය වූයේ මුගුරූසාගේ පුහුණුකරු සෑම් සැමික්ගේ බිරිය පළමු දරු ප්‍රසූතියට සුදානමින් සිටින නිසා මෙවර තරගාවලියට පැමිණීමට නොහැකිවීම නිසාය. වසර 1994 දී කොන්චිටා ස්පාඤ්ඤ ටෙනිස් ඉතිහාසයේ පළමු වතාවට විම්බල්ඩන් ශූරතාව දිනාගත්තේ ද එවකට 37 හැවිරිදි වියෙහි පසුවූ මාටිනා නව්රතිලෝවා පරාජයට පත් කරමිනි.

‘වීනස් පරද්දන්න සෑහෙන අමාරුවුණා. ඇත්තම කියනවානම් මම පොඩි කාලේ ඉඳලා හැදිලා වැඩුණේ වීනස් සෙල්ලම් කරනවා බලාගෙනයි. එයා එක්කම අවසන් තරගයට සෙල්ලම් කරන්න සිද්ධවීමෙන් මම සෑහෙන තැතිගැන්වුණා. ඒත් අන්තිමේදී මම ජයගත්තා. ‘ සිය ජයග්‍රහණයෙන් පසුව සතුටු කඳුළු වගුරුවමින් මුගුරූසා එසේ කීවාය.

‘මම අනුගමනය කරපු, මගේ ටෙනිස් වීරවරියක් මේ විදිහට පරද්දන්න හැකිවීම ලොකු ජයග්‍රහණයක්. ‘එසේ කියමින් ක්‍රීඩාලෝලීන් හිනැස්සූ මුගුරූසා අනතුරුව වීනස් දෙසට හැරී ‘මට සමාවෙන්න‘ කීවාය.

ඕල් ඉන්ග්ලන්ඞ් ක්ලබ් හි සවි කර ඇති විම්බල්ඩන් ශූරියන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් නාමපුවරුවට ඊයේ මුගුරූසාගේ නමත් එක්වූ අතර එය නරඹමින් සිටින අතරතුර ඇය මෙසේ කීවාය.

සෑහෙන්න කාලයක් තිස්සේ මේකේ ලියැවිලා තිබුණේ විලියම්ස් කියන වාසගම විතරයි. දැන් මගේ නමත් ලියැවිලා. ‘ ඇය කීවේ විම්බල්ඩන් ශූරතා දුසිමකටත් වැඩිය බෙදා හදා ගත් විලියම්ස් සොයුරියන් අරභයාය.


 - 077

 


අදහස් (0)

විම්බල්ඩන් නාමපුවරුවට මුගුරූසාත් එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.