Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තහනම් උත්තේජන ගැනීමේ චෝදනාවට ලක්වීම නිසා මාස 15 ක් ටෙනිස් පිටියෙන් ඉවතට වී සිටි රුසියාවේ මාරියා ෂරපෝවා මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තාය. තහනමට ලක්ව සිටීම නිසා පසුගිය වසරේදී ඇයට ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලිය අහිමි වූ අතර කලක් ලොව අංක එකේ ක්‍රීිඩිකාව වූවද මෙවර ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේදී ඇයට ශ්‍රේණිගත ස්ථානයක්වත් හිමි නොවීය.
අද (16 වැනිදා) පෙරවරුවේදී පැවැති තරගයේදී මාරියා ෂරපෝවා විසින් ජර්මනියේ තත්ජානා මාරියා ලකුණු 6-1 සහ 6-4 ක් ලෙසින් පරාජය කරන ලදි. දෙදෙනා අතර තරගය පැයකුත් විනාඩි 18 ක් පුරා ඇදී ගියේය.
“මේ බලන්න...මගේ ඇඟ හිරිගඩු පිපිලයි තියෙන්නේ” යයි නැවතත් ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියට අවතීර්ණ වීම සම්බන්ධයෙන් ඇතිවූ හැඟීම් පිළිබඳව කළ විමසීමේදී තමන්ගේ බාහු යුගළ වාර්තාකරුවන්ට පෙන්වමින් ෂරපෝවා පැවසුවාය.
“මට මේ අවස්ථාව කවදාවත් අමතක වෙන්නේ නෑ...මම මේ අවස්ථාව හරිම ආදරයෙන් සිහිපත් කරනවා....ඒක හරිම අමාරු අවුරුදු දෙකක්. මට ඕනෑ කළේ මොකක් හරි තේරුමක් ඇති දෙයක් කරන්න. ඒත් තත්ත්වය එන්න එන්නම අමරුවෙනවා කියන එක මම දන්නවා” යයිද ෂරපෝවා පැවසුවාය.
අන්තර්ජාතික ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ නගිමින් සිටින ෂරපෝවා මේ වන විට 48 වැනි ස්ථානයේ සිටී. ඇයගේ ප්‍රතිවාදිනිය වූ ජර්මන් ක්‍රීඩිකාව ෂරපෝවාට වඩා එක ස්ථානයක් ඉහළින් සිටියත් අන්තර්ජාතික මට්ටමේ කේවල ශූරතා 36 ක් දිනා සිටින ෂරපෝවා සහ තවමත් කේවල ශූරතාවක් දිනා නැති තත්ජානා මාරියා අතර පැවැති දැවැන්ත පරතරය තරගයේ පළමු මිනිත්තුවේදීම පෙනෙන්නට විය.
වසර 2008 ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනාගත් ෂරපෝවා කලින්ම 2-0 ක් ලෙසින් පෙරමුණ ගත් අතර කිසිදු අපහසුවකින් තොරව 6-1 ක් ලෙසින් පළමු වටය ජයගත්තාය.
මේ අතර සිය සොයුරිය සෙරීනාගේ අඩුව පුරවා විලියම්ස් පවුලේ ගෞරවය රැකගැනීමට මෙල්බර්න් නුවරට ගිය වීනස් විලියම්ස් ඊයේ (15 වැනිදා) ආරම්භ වූ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ පළමු වටයේදීම ඉවතට විසිවූවාය.
පසුගිය වසරේ (2017) සොයුරිය හමුවේ පරාජය වීමෙන් අනුශූරිය බවට පත්වූ වීනස් ඊයේ ආපසු ගෙදර යවන ලද්දේ ශ්‍රේණිගත කිරීම්වල අහළකවත් නැති 21 හැවිරිදි ස්විස් ජාතික බෙලින්ඩා බෙන්සික් විසිනි. මෙල්බරන් නුවර රොඞ් ලීවර් ටෙනිස් පිටියේදී ඊයේ ඇය ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි තැන සිටි වීනස් පරාජයට පත්කළේ ලකුණු 6-3 ක් සහ 7-5 ක් වශයෙනි.
දශක දෙකකට එහා දිවෙන විලියම්ස් සොයුරියන්ගේ ග්‍රෑන්ඞ් ස්ලෑම් ආධිපත්‍ය ඇරැඹෙද්දී බෙලින්ඩා උපත ලබා සිටියේවත් නැත. එහෙත් ඇය වසර විස්සකට පසුව ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියකදී විලියම්ස් නාමය පළමු වටයෙන්ම ඉවත් කිරීමට සමත්ව සිටි. එවැනි ඉරණමකට විලියම්ස් සොයුරියන් මුහුණ දුන් තුන්වැනි අවස්ථාව මෙයයි.
“මේ ජයග්‍රහණය ගැන කියන්න මට වචන නෑ.” ජයග්‍රහණයේ සතුටින් උද්දාමයට පත් මේ යොවුන් ක්‍රීඩිකාව එසේ කීවේ උඩ පනිමිනි.
“මම මීට කළින් විනස්ට සිවුවතාවක් පරාජය වෙලා තිබෙනවා. ඒ නිසා මේ තරගයේදී උපරිම දස්කම් දැක්විය යුතු බවට මම අධිෂ්ඨාන කරගත්තා. ඒ නිසාම මගේ ක්‍රීඩා රටාවේ වෙනස්කම් කිහිපයකුත් කළා” ඇය කීවාය.
මීට පෙර ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 7 ක්ම දිනා සිටින වීනස් විලියම්ස් වැනි කාන්තා ටෙනිස් ලෝකයේ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක වේලසනින්ම ආපහු හරවා යැවීමට බෙලින්ඩා සමත්විම එක අතකින් ක්‍රීඩාලෝලීන්ගේ නළල්තල රැළි ගැන්වූවකි. අනිත් අතට දෙවැනි වටයේදී ඇය සමග තරග කිරීමට නියමිත ක්‍රීඩිකාව වේලසනින්ම පීඩාවට පත්වන්නකි.
තරගයෙන් පසුව වීනස් කීවේ බෙලින්ඩා ඉතා හොඳින් ක්‍රීඩා කළ බවයි.
“ඒ කියන්නේ මම නරක විදිහට සෙල්ලම් කළා කියන එක නෙවෙයි. ඒත් මේ පුංචි කෙල්ලගේ දස්කම් මට වඩා ගොඩාක් ඉහළින් තිබුණා” යයි සෙරීනාගේත් අක්කා වන වීනස් කීවාය.
පසුගිය වසරේදී ඕස්ට්‍රේලියානු තරගාවලිය ඇතුළුව ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලි දෙකකදීම අවසන් මහා තරගයට පිවිසී වීනස් විලියම්ස් ග්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් තරගයකට එක්වූ ලොව වයස්ගතම ක්‍රීඩිකාවද වන්නීය.
“ගිය අවුරුද්ද ගිය අවුරුද්ද” දැන් වීනස් කියන්නේ එලෙසය.
“මේක අලුත් අවුරුද්දක්. අපිට හැමදාම පරණ අවුරුද්දේ මතකයත් එක්ක ජීවත් වෙන්න බෑ” තරගයේ පරාජයෙන් පසුව ඇය වාර්තාකරුවන්ට එසේ කීවාය.
අවසන් වතාවට 2008 විම්බල්ඩන් ශූරතාව දිනාගැනීමෙන් පසුව අවුරුදු 10 ක්ම කිසිදු ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළක් ජයගැනීමට වාසනාවක් නොතිබූ වීනස් මෙවරත් ආපහු හිස් අතින්ම ගෙදර ගියාය. එහෙත් ඒ අවුරුදු 10 දී ඇයගේ බාල සොයුරිය වන සෙරීනා ඇති තරම් ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවන්ට හිමිකම් කීවාය.
එබැවින් විලියම්ස්ලාට ශූරතාවලින් අඩුවක් නැත.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.