Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner සෙරීනා ශූරතා 22 සිහිනය සැබෑ කරගනී

සෙරීනා ශූරතා 22 සිහිනය සැබෑ කරගනී

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජර්මනියේ සුපිරි ක්‍රීඩිකා ඇන්ජලිකා කේබර් ලකුණු 7-5 ක් සහ 6-3 ක් ලෙස පරදවා හත්වැනි වතාවටත් විම්බල්ඩන් කාන්තා ටෙනිස් කිරුළ දිනාගත් ඇමරිකානු ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ග්‍රෑන්ඞ් ස්ලෑම් තරග ඉතිහාසයේ වැඩිම ශූරතා සංඛ්‍යාවක් දිනා සිටි ස්ටෙෆී ග්‍රාෆ්ගේ වාර්තාව සම කළාය. ලන්ඩන් නුවර ආසන්නයේ පිහිටි විම්බල්ඩන් ක්‍රීඩාංගණයේ ප්‍රධානතම පිටියේදී ලබාගත් මෙම ජයත් සමගින් ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් තරගයේදී ඇන්ජලිකා හමුවේ ලද පරාජයේ අඩුව ඇය මකා ගත්තාය.

ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලිය විවෘත තරගාවලියක් බවට පත්වීමෙන් පසුව එහි කාන්තා කිරුළ 22 වතාවක් දිනාගත් ස්ටෙෆී ග්‍රාෆ්, එම වාර්තාව වසර ගණනක් පුරා තනිව භුක්ති විඳමින් සිටියාය. ස්ටෙෆීගේ වාර්තාව සමකිරීමට සෙරීනා විසින් පරාජය කරන ලද්දේ ජර්මානු ක්‍රීඩිකාවක විමද විශේෂත්වයකි.

ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 22 ගැන හාංකවිසියක්වත් තම සිතෙහි නැති බව දිවුරා කී මේ 34 හැවිරිදි ක්‍රීඩිකාව එම වාර්තාව සම කිරීමෙන් පසුව නැගූ ප්‍රීති ඝෝෂාවෙන් මුලු ලන්ඩනයම නින්නාද දුන්නේ ඇය කීවේ බොරුවක් බව පසක් කරමිනි.

ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 22 සොගා ගිය ගමනේදී සෙරීනාට පළමුවෙන්ම හරස් වූයේ පසුගිය වසරේ සැප්තැම්බරයේ පැවැති අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් පූර්ව වටයේදී ඇයට පරාජය කැන්දාගෙන ආ ඉතාලියේ රොබේටෝ වින්සිය.

එහෙත් ලෝක වාර්තාව සම කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ඕස්ටේ්‍රලියාවට ගිය සෙරීනා පසුගිය ජනවාරියේ පැවැති ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් තරගයේදී ඇන්ජලිකා හමුවේ පරාජය වූවාය. අනතුරුව පසුගිය මාසයේ පැවැති ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් තරගයේදී ස්පාඤ්ඤයේ ගාබේන් මුගුරුසා විසින් ඇගේ සිහිනය බිඳ දමනු ලැබුවාය.

 අන්තිමේදී ශූරතා 22 වාර්තාව සම කිරීමට සෙරීනාට ලන්ඩනයටම පැමිණීමට සිදුවිය.

“මේ තණකොළ සහිත ටෙනිස් පිටිය මට නිකං ගෙදර වගෙයි...” කිරුළ දිනාගත් සෙරීනා මුලින්ම කීවේ ඒ ටිකය.

මීට අවුරුදු 14 කට පෙර හා පුරා කියා විම්බල්ඩන් ශූරතාව දිනූ සෙරීනා සෙනසුරාදා අයිති කරගත්තේ ඇගේ 7 වැනි විම්බල්ඩන් ශූරතාවයි. එය වැඩිම විම්බල්ඩන් ශූරතා ගොන්නක් දිනූ ක්‍රීඩිකාවන් අතර දෙවැනියා ලෙසත් සම වාර්තාව ඇයට හිමිවීමකි. වැඩිම වාර ගණනක් විම්බල්ඩන් කිරුළ අත්පත් කරගනු ලැබ ඇත්තේ තවත් ඇමරිකානු ක්‍රීඩිකාවක වන මාටිනා නව්රතිලෝවා විසිනි.

“මම දෙවතාවක්ම අවසන් තරගවලට ඇවිත් පැරදුණා. ඒ දෙපාරම මට හමුවුණේ ඉතා ප්‍රබල ප්‍රතිවාදීන්. එක්කෙනෙක් තමයි මම අද පරාජය කළ කේබර්.....මේ හීනය හැබෑ කරගන්න මම කොයිතරම් මහන්සි වුණාද...?‘ සෙරීනා එසේ කීවාය.

දශක දෙකකට ආසන්න කාලයක් කාන්තා ටෙනිස් පිටියේ සිය ආධිපත්‍ය පතුරුවාලමින් සිටින මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවගේ ජයග්‍රහණයට හදවතින්ම සුබපතන බව අනුශුරිය බවට පත්වූ කේබර් කීවාය. ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි තැන සිටින ඇය ලබන සඳුදා දෙවැනි තැනට පත්වන බව දැනටමත් නිවේදනය කෙරී තිබේ.

 

විම්බල්ඩන් කාන්තා අවසන් මහ තරගයේ විශේෂ අවස්ථා...


අදහස් (0)

සෙරීනා ශූරතා 22 සිහිනය සැබෑ කරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.