Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner සෙරීනා - ෂරපෝවා සංදර්ශනය කලින්ම

සෙරීනා - ෂරපෝවා සංදර්ශනය කලින්ම

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

CCCCCC


අන්තර්ජාතික කාන්තා ටෙනිස් පිටියේ ප‍්‍රබලතම පසමිතුරියන් ලෙස දශකයකට වැඩි කාලයක් එකිනෙකා හා උරෙනුර ගැටෙමින් තරග වදින අංක 1 කී‍්‍රඩිකා අමෙරිකාවේ සෙරීනා විලියම්ස් සහ අංක 5 පහේ කී‍්‍රඩිකා රුසියාවේ මරියා ෂරපෝවා මෙවර ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ තීරණාත්මක අර්ධ අවසන් පූර්ව වටයේ දී නැවතත් එකිනෙකා හමුවීමට අද නියම කරගත්හ.

පසුගිය වසරේ ඕස්ටේ‍්‍රලියානු ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ෂරපෝවා පරාජය කරමින් එම කිරුළට හිමිකම් කී සෙරීනාට මෙවර වේලාසනින්ම සිය සුපුරුදු ප‍්‍රතිවාදිනිය හමුවීමට සිදුවීම එක අතකින් තරගාවලියේ උණුසුම වැඩි කරවන්නට සමත් එකක් මෙන්ම අනික් අතට සිය 22 වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ මෙන්ම 7 වැනි  ඕස්ටේ‍්‍රලියානු ටෙනිස් කිරුළ හඹා යන සෙරීනාට තරමක චකිතය දනවන සිදුවීමක්ද වී තිබේ.

ඕස්ටේ‍්‍රලියානු තරගාවලියේ සත්වැනි දිනය වන අද සෙරීනාට අර්ධ අවසන් පූර්ව වටයට එක්වීමට රුසියාවේ මාගරිටා ගැස්පරියන් ලකුණු 6-2 ක් සහ 6-1 ක් ලෙස පරාජය කිරීමට ගතවූයේ මිනිත්තු 55 ක් පමණි. වසර 2008 දී ඕස්ටේ‍්‍රලියානු ටෙනිස් කිරුළට හිමිකම් කී 28 හැවිරිදි ෂරපෝවා අවසන් අටට එක්වූයේ පැය දෙකකුත්, මිනිත්තු 6 කට පසුව ස්විට්සර්ලන්තයේ නැගී එන තරුව බෙලින්ඩා බෙන්සික් ලකුණු 7-5 ක් සහ 7-5 ක් වශයෙන් පරාජය කරමිනි.

”පසුගිය වසරේ අවසන් මහා තරගය ඉතා උණුසුම්කාරී එකක් වුණා. දෙවැනි වටයේදී මම දිනන්න ඔන්න මෙන්නයි හිටියේ. නමුත් එය ප‍්‍රමාණවත් වුණේ නෑ.” යයි සිය සුපුරුදු ප‍්‍රතිවාදිනිය සමග අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමෙන් පසුව ෂරපෝවා කීවාය.

”මේ පාර නම් ඊට වඩා දෙයක් කරන්නයි මගේ අදහස. කොහොම වුණත් ඒක විශිෂ්ට තරගයක් වන බව නම් සහතිකයි” ඇය එසේ ද කීවාය.

එය එසේ වුවත් සෙරීනා කියා සිටියේ ෂරපෝවා අවසන් අටේදි සිය ප‍්‍රතිවාදිනිය වනු ඇතැයි තමා නොදැන සිටි බවය.

”අවසන් අටේදී මට තරග කරන්නට වෙන්නේ කා එක්කදැයි මම ඇත්තටම දැන උන්නේ නෑ. ඒත් දැන් මට කියන්න තියෙන්නේ මට නම් පරදින්න කිසිම කාරණයක් නෑ. මම මගේ උපරිම දස්කම් පෙන්වන්නයි බලාපොරොත්තුව” යයි කියමින් සෙරීනා වේලාසනින්ම ෂරපෝවාට අභියෝග කළාය.

”මම කොහොමටත් දැඩි විශ්වාසනීයත්වයකින් යුතුවයි තරග කරන්නේ. ෂරපෝවා නෙවෙයි වෙන කවුරුවුණත් මට කමක් නෑ” ඇය එසේ ද කියන්නීය.

මේ දෙදෙනා අවසන් වතාවට එකිනෙකා හා ගැටුණු තරග 17 ම ජයගැනීමට සෙරීනා සමත්වූ අතර වසර 2004 න් පසුව මේ දක්වා ෂරපෝවා හමුවේ සිය බලය තහවුරු කරගැනීමට ද සමත්වූවාය.

මේ දෙදෙනා අතර ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව තරගය පසුගිය වසරේ දෙදෙනා අතර පැවැති  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගය මෙන්ම උණුසුම්කාරී මුහුණුවරක් ගනු ඇතැයි දැනටමත් විචාරකයෝ අනාවැකි පළකොට තිබේ.

 

- 077

 


අදහස් (0)

සෙරීනා - ෂරපෝවා සංදර්ශනය කලින්ම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.