Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner සෙරීනා 22 වැනි කිරුළ සොයා ඇදෙයි

සෙරීනා 22 වැනි කිරුළ සොයා ඇදෙයි

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

630

 


ලෝක කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ මුදලට තරග පාවාදීමට ටෙනිස් කී‍්‍රඩාවත් හසුවී ඇති බවට නැගුණු ආන්දෝලනාත්මක වාර්තා රැසක් සමග ආරම්භ වූ  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ දෙවැනි වටයේ දී තායිවානයේ සියා සූ වයි ලකුණු 6-1 කින් සහ 6-2 කින් පරාජයට පත්කළ පසුගිය වසරේ ශූරිය අමෙරිකාවේ සෙරීනා විලියම්ස් සිය 22 වැනි ග‍්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුළ කරා යන ගමනේ තවත් අඩියක් පෙරට තැබුවාය.

කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරිමවල අහළකවත් නොසිටි තායිවානයේ ටෙනිස් ශූරිය පහසුවෙන් අභිබවා ගියත් සෙරීනාට මෙවර ශූරතාවලියේ පළමු තරගයේ දී ඉතාලියේ කැමිලා ජියෝජි පරාජය කිරිම නම් ඒ හැටි පහසුවූයේ නැත.

ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල 90 වැනි තැන පසුවන කැමිලා නොම්මර එකේ කී‍්‍රඩිකාව ලෙස වැජඹෙමින් සිටින සෙරීනාගේ ඉවසීම පළමු තරගයේදී කිහිප වරක්ම පරික්ෂා කර බැලූ බව කවුරුත් කියති.

කෙසේවුවත් පළමු තරගය අසීරුවෙන් ජයගැනීම තමාට දෙවැනි තරගයේදී වැඩි උනන්දුවකින් යුතුව කී‍්‍රඩා කිරීමේ වටපිටාව සකස් කොට දුන් බැව් තරගයෙන් පසුව සෙරීනා කියා සිටියාය.

පසුගිය වසරේ දීත් ඕස්ටේ‍්‍රලියානු ටෙනිස් කිරුළ අයිතිකරගත්  ඇගේ කල්පනාව තුන්වැනි වටයේදී තරග කිරීමට සිදුවී ඇති දාරියා කසත්කිනා නමැති 18 හැවිරිදි යොවුන් කී‍්‍රඩිකාව පරාජය කිරීම ගැනය. පසුගිය කාලය පුරාම දැඩි දණහිසේ ආබාධයකින් පෙලෙන සෙරීනා මෙවර ඕස්ටේ‍්‍රලියානු තරගාවලියට පැමිණියේ ද ඒ ආබාධය සහිතවමය.

සෙරීනා කෙසේවෙතත් ඇගේ වැඩිමල් සොයුරිය විනස් නම් ඕස්ටේ‍්‍රලියානු ටෙනිස් පිටියට සේන්දු වූයේ වැඩි විශ්වාසනීයත්වයකින් තොරවය. එය වඩාත් තිව්ර වූයේ ඊයේ පළමු වටයේදීම ඇය බි‍්‍රතාන්‍යයේ ජොහානා කොන්ටා හමුවේ පරාජයට පත්ව තරගාවලියෙන් ඉවතට විසිවීමෙනි. ඒ මදිවට තරගයෙන් පසුව සුපුරුදු පරිදි පැවැත්වෙන පශ්චාත් මාධ්‍ය හමුව මඟ හැර යාම නිසා ඩොලර් 5000 ක දඩයක් ගෙවන්නට වීමෙන් ඇය කබලෙන් ලිපටද වැටුණේය.

ටෙනිස් පිටියේ තරග නිති අනුව පශ්චාත් මාධ්‍ය හමුව මඟ හැරීම ඩොලර් 20,000 දක්වා උපරිම දඩයකට යටත්වීමට සිදුවන කාරණාවක් වූවත් වීනස්ට ලිහිල් දඬුවමක් පැනවීමට බලධාරීන් කටයුතු කිරීම ඇතැමුන්ගේ නම් විමතියට කරුණක් වී තිබිණි.

මාධ්‍යවේදීන් මේ පිළිබඳ අසා සිටියේ ඒ මොහොතේ පිටියේ සිටි සෙරීනාගෙනි. එහෙත් ඊට ඇගෙන් යහපත් ප‍්‍රතිවාර ලැබී තිබුණේ නැත.

”මං කොහොමද දන්නේ එයා ඇයි මාධ්‍ය හමුව මඟ හැරියේ කියලා. ඔයාලට ඒක දැනගන්න ඕනේ නම් එයාගෙන්ම අහගන්න”

”මම එතැන හිටියේ නෑ” සෙරීනා මාධ්‍යවේදීන්ට එසේ කීවාය.

කොහොමටත් ඕස්ටේ‍්‍රලියානු තරගාවලිය ආරම්භයේ සිටම සෙරීනා පසුවූයේ තරමක චකිතයෙන් සහ කෝපයකින් යුතුවය. ඊට ප‍්‍රධානම කරුණ වූයේ තරගාවලිය ආරම්භයේදීම බී.බී.සී. පුවත් සේවය ප‍්‍රසිද්ධ කළ ටෙනිස් පිටියේ තරග පාවාදිම සම්බන්ධ වාර්තාවක් ගැන මාධ්‍යවේදීන් ඇගෙන් තොරතුරු විමසා සිටීමය.

ඒ වාර්තාවට අනුව පසුගිය දශකය පුරා ලෝක ටෙනිස් පිටියේ ඉහළ මට්ටමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසක් මුදලට තරග පාවාදුන් බවට සැක කෙරේ. සුප‍්‍රකට විම්බල්ඩන් තරගාවලියේ ඇතැම් තරග ද ඒ අතර තිබෙන බව තමන් වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරන්නේ යයි බි.බී.සී.ය කීවේය.

ඔවුන් කියන්නේ පසුගිය වසර දහය තුළ ලෝක ටෙනිස් පිටියේ පළමු 50 දෙනා අතර සිටි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 16 දෙනකු මුදලට තරග පාවාදුන් බවට සැක කළ හැකි සාක්ෂි හමුවී ඇති බවකි. ග‍්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ දිනූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ද ඒ අතර සිටින බව ඒ වාර්තවේ වැඩි දුරටත් පෙන්වා දී තිබිණි.
 
වඩාත්ම බරපතල කරුණ වන්නේ ඉන් ඇතැම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙවර  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියට ද එක්වී සිටින බවට වාර්තා පළවී තිබීමය. මෙසේ තරග පාවාදීමට කැමැත්ත පළ කළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පවුම් 40,000 ක් හෝ 50,000 ක් පිරිනමා ඇතැයි ද වාර්තා විය.

අන්තර්ජාතික වෘත්තීය ටෙනිස් කී‍්‍රඩක සංගමය ඉහත කී පුවත ප‍්‍රතික්ෂේප කළද පිහාටු ඇති කටකතා මෙන් එය ඕස්ටේ‍්‍රලියානු ටෙනිස් ශූරතාවලියට බලපෑමක් එල්ල කිරිමට සමත්වූ වාර්තාවක් බවට පත්විය.

මේ අතර ලෝක ශ්‍රේණිගත කිරිම්වල ඉදිරියෙන් පසුවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විමතිය දනවන අයුරින් ශ්‍රේණිගත කිරීම්වල අහළකවත් නොමැති කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පරාජය වීම සැක සහිත බවත් එම වාර්තාවේ සඳහන් වී තිබීමෙන් සෙරිනා ඇතුලූ මුල් පෙළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

එබැවින් මීට පෙර තරගමාලා කෙසේ වෙතත් දැන්  ඕස්ටේ‍්‍රලියානු තරගමාලාවේ දී නම් ඔවුන්ට ශ්‍රේණිගත කිරීම්වල නොසිටින කෝඩුකාර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හමුවේ පරාජයට පත්වීම එක අතකට වැලේ වැල් නැතිවන කාරණාවක් බවට පත්වී තිබෙන බව ඉඳුරාම කිව හැකිය.

 


- 077

 


අදහස් (0)

සෙරීනා 22 වැනි කිරුළ සොයා ඇදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.