Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner 13 න් පහළ තහනම ඉවත් කරන්න යයි

13 න් පහළ තහනම ඉවත් කරන්න යයි

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චෙස් ක්‍රීඩාවට බලපා ඇති වයස 13 න් පහළ තරග තහනම වහාම ඉවත් කිරීමට කටයුතු කරන බවත් මේ තරග තහනම පිළිබඳව තමා කණගාටු වන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදී ක්‍රීඩා ඇමැතිවරයා එසේ කීවේය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ලක්‍ෂ්මන් විජේසූරිය, ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ ලේකම් බුද්ධි පනාගොඩ, ප්‍රවීණ චෙස් පුහුණුකරුවන් වන එලාන් මතංග, ගිහාන් කාංචන යන අයද මේ අවස්ථාවට සහභාගි වූහ.

චෙස් ක්‍රීඩාව දැන් දැන් දිනෙන් දිනම අනෙක් ක්‍රීඩාවන් මෙන් සීඝ්‍රයෙන් දියුණු වේගෙන එනවා. ඒක අපේ සතුටට කරුණක්. මේ ලබපු චෙස් ජයග්‍රාහණය පිළිබඳව ඇත්තෙන්ම මම සතුටු වෙනවා. ඒ සඳහා ඇප කැපවුණු ක්‍රීඩකයින්ට නිලධාරීන්ට හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්ට මම බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා යැයි පැවසූ ඇමැතිවරයා.

චෙස් ක්‍රීඩාව ලංකාවේ අනෙක් ක්‍රීඩාවන් වගේම ඉහළ තැනකට ගේන්න මම කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අපිට කිට්ටුම රටවන ඉන්දියාවේ ළමයි චෙස් ක්‍රීඩාවට එන්නේ පෙර පාසල් අවධියේදීයි. මේ නිසාම අද ඉන්දියාවේ හොඳ චෙස් ක්‍රීඩකයින් බිහි වෙලා තියෙනවා. මේ නිසාම ඉන්දියා චෙස් ක්‍රීඩාවට නමක් අරන් තියෙන රටක් යැයි ද පැවැසීය.

වයස 13න් පහළ ළමයින්ට චෙස් තරගාවලි තියන්න බැහැ. එවැනි තරගාවලි තිබ්බත් ළමයින්ට හම්බවෙන්නේ පරිසාධන මට්ටමේ තරු තුනේ, නැත්නම් තරු දෙකේ වගේ සහතික. ඒ සහතික මෙලෝ වටිනා කමක් නැහැ යැයි කී ඇමැතිවරයා කුඩා කාලයේම ශූරතාවක්, අනුශූරතාවක්, තෙවැනි ස්ථානයක් සඳහා රන්, රිදී, ලෝකඩ පදක්කම් ලැබෙනවට ළමයින් ආශා කරන බවත් එවැනි පදක්කම් දෙනකොට තරු 3 හෝ තරු 2 සහතිකවලට වඩා ළමයි ඒ ක්‍රීඩාවට යොමු වෙන බවත් ඇමැතිවරයා පැවැසීය.

චෙස් ක්‍රීඩාවට පනවා ඇති වයස 13න් පහළ තරග තහනම වහාම ඉවත් කිරීමට තමන් කටයුතු කරන බවත් ඒ පිළිබඳව සොයා බලා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට ද උපදෙස් දෙන බවත් ඇමැතිවරයා පැවැසීය.

මේ චෙස් ක්‍රීඩා තරග තහනම පිළිබඳව මම අධ්‍යාපන ඇමැතිතුමාත් එක්කත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

චෙස් ක්‍රීඩාවට පමණක් නෙමෙයි ලංකාවේ හැම ක්‍රීඩාවකටම මේ වයස 13න් පහළ තරග තහනම තදින්ම බලපාලා තියෙනවා. ක්‍රීඩාවේ දී ළමයෙකුට දෙන්නෙකුට අනතුරු වුණායි කියලා ඒ ක්‍රීඩාවලට තරග තහනම් පැනවීම නෙමෙයි කළ යුත්තේ ඒ අනතුරුවීම වැළැක්වීමටයි කටයුතු කළ යුත්තේ යැයි ද ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

 


අදහස් (0)

13 න් පහළ තහනම ඉවත් කරන්න යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.