Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner 2017 දී අන්තර්ජාතික තරගාවලි 300 ක්

2017 දී අන්තර්ජාතික තරගාවලි 300 ක්

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ ජාතික ක්‍රීඩා තරග දින දසුන අනුව 2017 වසරේදී ශ්‍රී ලංකාවට අන්තර් ජාතික ක්‍රීඩා උළෙල සහ තරගමාලා 300 කට ආසන්න සංඛ්‍යාවකට සහභාගීවීම සඳහා ආරාධනා ලැබී තිබේ. එම අන්තර්ජාතික තරගමාලා වලින් රැසක් ශ්‍රී ලංකාවේදීද පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා විසින් ඉකුත්දා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට බාරදුන් ජාතික ක්‍රීඩා දින දසුනට අනුව 2017 වසර පුරා යෙදී තිබෙන දේශීය හා ජාතික තරග මාලා සංඛ්‍යාව 800 කට වැඩිය. ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය හැරෙන්න සෙසු ජාතික ක්‍රීඩා සංගම් බහුතරයක් මෙම වසරේ සිය ජාත්‍යන්තර තරග සහභාගීත්වය පිළිබඳව තරග දින දසුනේ දත්ත සටහන් කිරීමට කටයුතුකර තිබේ.

මේ වනවිට ජාතික ක්‍රීඩා සංගම් 60 ක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචිකර තිබේ. 2017 වසරට නියමිත දේශීය හා විදේශීය තරගාවලි සඳහා තොරතුරු ලබාගෙන ඇත්තේ එම ජාතික ක්‍රීඩා සංගම් මගිනි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2017 වසරේ ජාතික ක්‍රීඩා දසුනේ අන්තර් ජාතික තරගාවලි හතක් සටහන් කර තිබේ. ඉන් ටෙස්ට්, එක්දින, විස්සයි 20 තරග මාලා තුනක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එහිදී විශේෂත්වය වන්නේ ඔක්තෝබර්, නොවැම්බර් කාල සීමාවේදී සිදු කෙරෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරයයි. ටෙස්ට් තරග තුනක්, එක්දින තරග පහක් හා විස්සයි-20 එක් තරගයක් ඊට ඇතුළත්වේ.

පාකිස්ථානයේ තරග සංචාරයකට සහභාගී වෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වසර 2009 මාර්තු 3 වැනිදා බස් රථයකින් ගමන් කරමින් සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් විය. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනෙකු වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අතර එම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් ඇතුළු පුද්ගලයෝ අට දෙනකු තුවාල ලැබූහ.

එම සිද්ධියත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානු සංචාරය අත්හිටුවා වහාම දිවයිනට ළඟාවිය. එයින් පසුව ඉතා මෑතකදී සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා සහභාගීවීම හැරෙන්නට ශ්‍රී ලංකාව ඇතුළු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සෙසු සියලු සාමාජික රටවල් පාකිස්තානයේ තරග සංචාර සඳහා සහභාගීවීම මේ දක්වා අත්හිටුවා තිබේ.

12 දෙනෙකුගෙන් සමන්විත ත්‍රස්තවාදී කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාර එල්ල කිරීම සඳහා සහභාගී වුවත් එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැගත් බස් රථය පැදවූ එහි රියදුරා එය නොනවත්වා ධාවනය කිරීමෙන් ඔවුන්ගේ දිවි ගැලවුණු බවත් විදෙස් පුවත් එම අවස්ථාවේදී වාර්තා කර සිටියේය.

මෙම සිදුවීමෙන් පසුව පාකිස්තානය සත්කාරය දරන ක්‍රිකට් තරගාවලි රැසක් අද දක්වා පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය. ජාතික දින දසුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෙම පාකිස්තානු තරග සංචාරය පිළිබඳව දක්වා තිබුණත් ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙරට අතර තරගමාලාව ඩුබායි නුවරදී පැවැත්වෙන බවයි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය වාර්ෂිකව වැඩිම වියදමක් දරන ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික මලල ක්‍රීඩා තරග සහභාගීත්වය මෙම වසරට 12 ක් ලෙස ජාතික ක්‍රීඩා දින දසුනේ දක්වා තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුව මෙම වසරට අන්තර් ජාතික ක්‍රීඩා උළෙල තුනක් සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සම්බන්ධීකරණය කරයි. ඒ ජපානයේදී පැවැත්වෙන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල, බහමාස්හිදී පැවැත්වෙන අටවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ තුර්ක්මෙනිස්ථානයේ දී පැවැත්වෙන ආසියානු ගෘහස්ථ සටන් කලා ක්‍රීඩා උළෙල වෙනුවෙනි.

ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ගේ හමුවකදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ජාතික ක්‍රීඩා දින දසුනේ සටහන්කර තිබෙන ක්‍රීඩා ඉසව් හැරෙන්නට වෙනත් ක්‍රීඩා ඉසව් හා තරගාවලි සංවිධානය කිරීම ජාතික ක්‍රීඩා සංගම්වලට තහනම්වන බවය.

කෙසේවුවත් දේශීය තරගාවලි දැක්වීමේදී ජාතික ක්‍රීඩා සංගම් රැසක් ආසන්න දින වකවානු හැරෙන්නට ස්ථීර කරගත් කාලවකවානු නොවන බව ද වාර්තා වේ. පාපැදි සම්මේලනය ඇතුළු ජාතික ක්‍රීඩා සංගම් කීපයක් ජාතික ක්‍රීඩා දින දසුනේ සිය විදෙස් තරග සහභාගීත්වය පිළිබඳ සටහන් කිරීමට අපොහොසත්වී සිටියි.

ජාතික ක්‍රීඩා සංගම් හැරෙන්නට ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතූළුව ප්‍රධානතම බාහිර ක්‍රීඩා සංවිධාන කීපයක 2017 තරග කාලසටහන්ද ජාතික ක්‍රීඩා දින දසුනට ඇතුළත්කර තිබේ. ඒ අතර පාසල් ප්‍රධානතම ක්‍රීඩා තරගාවලි හා උළෙල 17 ක කාලසටහන ද ඊට ඇතුළත් කර තිබේ.

 


අදහස් (0)

2017 දී අන්තර්ජාතික තරගාවලි 300 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.