Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ආසියානු ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට රතු එළි

ආසියානු ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට රතු එළි

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


 

වසර 2017දී හම්බන්තොට නගරයේදී පැවැත්වීමට යෝජිත ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ පෙර සූදානම පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බවට ආසියානු ඔලිම්පික් කමිටුව ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට හා ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතාට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

එම තත්ත්වය පිළිබඳව මැනිලා නුවරදී මීළඟට පැවැත්වෙන ආසියානු ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේදී සාකච්ඡුාවට ගන්නා බවත් එහිදී ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල හම්බන්තොටදී පැවැත්වීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවත් දැනුම් දී තිබේ. තත්ත්වයේ ප‍්‍රගතියක් නොවුණහොත් ක‍්‍රීඩා උළෙලේ සත්කාරයෙන් හම්බන්තොට නගරය ඉවත් කිරීම පිළිබඳවද ඊයේ (23) ශ්‍රී ලංකාවට යොමුකර තිබෙන ආසියානු ඔලිම්පික් කමිටුවේ සභාපති ෂෙයික් අහමඞ් අල්ෆහාඞ් මහතාගේ ලිපියෙන් අනතුරු අගවා අතැයිද දැනගන්නට ඇත.

කරුණු අටක් කෙරෙහි එම ලිපියෙන් අවධානය යොමු කර ඇතැයිද වාර්තාවේ.
ප‍්‍රධාන මෙහෙයුම් කමිටුව ක‍්‍රියාත්මක නොවීම, යටිතල පහසුකම් ක‍්‍රියාත්මක නොවීම, ක‍්‍රීඩා උළෙලේ ප‍්‍රධාන සැළසුම් ක‍්‍රියාවට නොගැනීම, අයවැය වාර්තා සකස් නොකිරීම, නීතිමය හා බදු තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු නොකිරීම,  ප‍්‍රධාන ක‍්‍රීඩා ගම්මානය ඇතුළු ක‍්‍රීඩා ඉසව් පැවැත්වෙන ස්ථාන පිළිබඳව මෙතෙක් හඳුනා ගැනීමක් නොකිරීම, තාක්ෂණික හා වෛද්‍ය පහසුකම් ආදිය පිළිබඳව සැළසුම් සකස් නොවීම ඇතුළු කරුණු එහිදී ලිපියෙන් දැඩි අවධාණයට යොමු කර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර දැනට ඔලිම්පික් ප‍්‍රඥ්ප්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැන නැගී තිබෙන කරුණු නිවැරදි කර ගනිමින් හා ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වය හා ස්වෛරීභාවය සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන ගැටලූ නිරාකරණය කර ගැනීමට ද ඒ සමග ශ්‍රී ලංකාව උනන්දු විය යුතු බව ද ලිපියෙන් ආසියානු ඔලිම්පික් කමිටු සභාපතිවරයා අවධාරණය කර තිබෙන බව ද වැඩිදුරටත් ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වුවත් එල්ලවී තිබෙන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ‘ලංකාදීප’ය කළ විමසුමකදී ක‍්‍රීඩා අමැති මහිනදානන්ද අලූත් ගමගේ මහතා පැවසීය.

”ආසියානු ඔලිම්පික් කමිටු සභාපතිවරයා වැරදි නිගමනවලට ඇවිත් එම ලිපිය සකස් කර තිබෙන බව පේනවා”

”ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලට අපේ උනන්දුව අඩුයි කියන එක වැරදියි. දැනටමත් අපි කැබිනට් පත‍්‍රිකාවක් මගින් ක‍්‍රීඩා උළෙලේ පූර්ව සංවිධාන කටයුතු අරඹන්න සියලූ කටයුතු සූදානම් කරමින් ඉන්නවා. මේ ලිපියට මම ඉතා ඉක්මනින්ම පිළිතුරක් යවන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කලබල විය යුතු නැහැ” යයි ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ ගම්මානය සූරියවැව මීගහජඳුර ප‍්‍රදේශයේ ඉදිකිරීම සඳහා අක්කර 1800 ක භූමිභාගයක් වෙන් කරන බවත් එහි ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 150ක්  පමණ මුදලක් වෙන් කෙරෙන බවත් වසර 2013 ජනවාරි 24 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඒ සම්බන්ධයෙන් පැවැති විශේෂ සාකච්ඡවකදී තීරණය කෙරිණි.

ක‍්‍රිකට්, පාපන්දු, රග්බි, ටෙනිස්, බේස්බෝල් ඇතුළු ක‍්‍රීඩා ඉසව් රැුසකට පහසුකම් සැලසෙන මෙම ක‍්‍රීඩා ගම්මානයට හෝටල් හා සුපිරි සාප්පු සංකීර්ණයක් ද ඇතුළත් වන බව වාර්තා වේ.

එම  විශේෂ සාකච්ඡවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ, ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

තෙවැනි ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ පූර්ව සංවිධාන කමිටුවේ සම සභාපතිවරුන් ලෙස  ලලිත් වීරතුංග හා හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන් නම් කර තිබුණි.

 


අදහස් (1)

ආසියානු ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලංකාවට රතු එළි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.