Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ආසියානු තරගාවලියේ දොර වැසෙයි

ආසියානු තරගාවලියේ දොර වැසෙයි

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මේ මස 5 සහ 6 යන දින වලදී පැවැත්වීමට නියමිතව තිබූ තේරීම් තරගාවලිය සඳහා කොළඹ කෘතිම හොකී කී‍්‍රඩාංගණය නොදීමට කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ගත් තීරණය හේතුවෙන් ‘ආසියානු සම්මේලන කුසලාන’ වයස 18 න් පහළ බාලක හොකී තරගාවලිය සඳහා කණ්ඩායමක් යැවීමේ අවස්ථාව ශී‍්‍ර ලංකාවට අහිමි වී ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ශී‍්‍ර ලංකා හොකී සම්මේලනයේ සභාපති, නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ තේරීම් තරගාවලිය පවත්වාගත හැකි නම් කිසිදු අපහසුවකින් තොරවම ශී‍්‍ර ලංකා කණ්ඩායමක් ආසියානු තරගාවලිය සඳහා යැවිය හැකි බවයි.

සුමිත් එදිරිසිංහ මහතා වසර ගණනාවක සිටම ආසියානු හොකී සම්මේලනයේ අධ්‍යක්‍ෂවරයකු ලෙසින්ද කටයුතු කරයි.

‘ආසියානු සම්මේලන කුසලාන’ වයස 18 න් පහළ බාලක හොකී තරගාවලිය ඔක්තෝම්බර් මස 3 වැනිදා සිට 11 වැනිදා දක්වා බංගලාදේශයේ ඩකා නුවරදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා හොකි සම්මේලනයේ කි‍්‍රයාකාරී කමිටු සභාපති ආර්. බී. වික‍්‍රමසිංහ මහතාගේ අත්සනින් යුත් ලිපියක් මගින් තේරීම් තරග පැවැත්වීම සඳහා දිවයින පුරා පාසල් වලින් කී‍්‍රඩකයන් කැඳවා තිබිණ. එහෙත්  එම තේරීම් තරග පැවැත්වීමට නියමිතව තිබූ ඉකුත් 5 වැනිදා සහ 6 වැනිදා කොළඹ ටොරින්ටන් පෙදෙසේ කෘතිම හොකී කී‍්‍රඩාංගණය වසා තැබීම හේතුවෙන් එහි පැමිණි කී‍්‍රඩකයෝ සහ ඔවුන්ගේ දෙමාපියෝ මහත් අපහසුතාවකට පත්වූහ.

වැඩිදුරටත් කළ කරුණු විමසුමකදී හොකී සම්මේලනයේ නිලධාරියෙක් කියා සිටියේ මෙම තේරීම් තරගාවලිය පැවැත්වීම සඳහා මුල සිටම කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය විරෝධය දක්වා සිටි බවයි. අදාල තරගාවලියට කී‍්‍රඩකයන් තෝරාගැනීම සඳහා ඔහු හොකී සම්මේලනයේ තේරීම් කමිටුව වෙනුවට වෙනත් තේරීම් කමිටුවක්ද පත්කර තිබූ බවද එම නිලධාරියා පැවසීය.

මෙම කරුණු සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා හොකී සම්මේලනය කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද දැනුම් දී ඇති බවත් වාර්තා වේ.

”මේ මස 5 වැනිදා පස්වරු 2.00 වන තුරුත් කෘතිම හොකී කී‍්‍රඩාංගණයේ කිසිදු පුහුණුවීම් කිරීමක් හෝ තරගයක් නොපැවති අතර කී‍්‍රඩාංගණ වෙනත් කටයුත්තක් සඳහා දීමට කටයුතු කර තිබුණේද නැත. එවැනි තත්ත්වයක් පවතිද්දීත් තේරීම් තරගාවලිය පැවැත්වීම සඳහා කී‍්‍රඩාංගණය නොදී එය වසා තැබීම කණගාටුවට කරුණක්” යයිද ශී‍්‍ර ලංකා හොකී සම්මේලනය විසින් කී‍්‍රඩා ඇමතිවරයා වෙත යවන ලද ලිපියක සටහන් වේ.

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය පසුගිය මාර්තු 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණ. එහෙත් ඊට දින හයකට කලින් නිකුත් කරන ලද, 2015.03.25 දාතමින් යුතු, අංක 1097/27 දරණ ගැසට් පත‍්‍රයට අනුව වසර 4 කට වැඩි කාලයක් සම්මේලනයේ තරතුරු දරා තිබූ පුද්ගලයන්ට 2015 නිලවරණය සඳහා ඉදිරිපත්විය නොහැකි බව නිවේදනය කරන ලදි. එබැවින් නැවතත් නාම යෝජනා කැඳවා හොකී සම්මේලන නිලවරණය මැයි මස 15 වැනිදා පැවැත්වීමට කී‍්‍රඩා අමාතංශය තීරණය කළේය.

වසර 4 කට වැඩි කාලයක් සම්මේලනයේ තරතුරු දරා තිබූ පුද්ගලයන් එවරද නිලවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත්කර තිබූ බැවින් කී‍්‍රඩා අමාතංශ නියෝජිතයාද ඇතුළුව සියලූ දෙනාගේ ඒකමතික තීරණය අනුව රැස්වීම කල්තැබිණ.

අනතුරුව මැයි මස 29 වැනිදා නිකුත් කරණ ලද අංක 1916/36 දරණ ගැසට් පත‍්‍රයට අනුව සියලූ කී‍්‍රඩා සංගම්වල අධිකාරි බලය කී‍්‍රඩා අමාතංශයට පවරා ගැනීමටත්, එම සංගම්වල නිලවරණ සහ මහසභා රැස්වීම් පැවැත්වීමේ බලය අත්පත් කරගැනීමටත් කී‍්‍රඩා අමාතංශය කටයුතු කළ බවද දන්වන ලදි.

මේ සම්බන්ධයෙන් බලවත් විරෝධය දක්වමින් අන්තර්ජාතික හොකී සම්මේලනය විසින් කී‍්‍රඩා අධක්‍ෂ ජනරාල්වරයා වෙත ලිපියක් එවා තිබේ.

සැප්තැම්බර් මස 1 දාතමින් යුත් එම ලිපියට අනුව කි‍්‍රයාකාරී කමිටුව විසින් තෝරා ගන්නා ලද කණ්ඩායමක් පිළිගැනීමට අන්තර්ජාතික හොකී සම්මේලනය සූදානම් නැති බවත් අන්තර්ජාතික හොකී සම්මේලන ව්‍යවස්ථාවේ 2.6 වගන්තිය ප‍්‍රකාරව, ජාතික සම්මේලනයට කිසියම් බාහිර බලපෑමක් ඇතිවන්නේ නම් එහි සාමාජිකත්වය අහෝසි කළ හැකි බවත් අනතුරු අගවා තිබිණ.

ශී‍්‍ර ලංකා හොකී සම්මේලන නිලවරණය සඳහා අවසන් වරට සිදුකෙරුණ නාමයෝජනා බාරගැනීමේදී විනාඩි 4 ක ප‍්‍රමාදයක් හේතුවෙන් කී‍්‍රඩා සංගම් 8 ක නාමයෝජනා බාරගැනීමෙන් කී‍්‍රඩා අමාතංශය වැලකී සිටියේය.

ඉහත කරුණු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණ අංක 286/2015 යටතේ කී‍්‍රඩා අමාතංශයට විරුද්ධව කී‍්‍රඩා සංගම් 8 ක් නඩු පවරා තිබිණ.

ජූනි මස 22 වැනිදා එම නඩුව කැඳවා නිලවරණය සඳහා තහනම් නියෝගයක් පැනවීමටද, අගෝස්තු මස 03 වැනිදා ශ්‍රී ලංකා හොකී සම්මේලනය කරන ලද ඉල්ලීමකට අනුව සම්මේලනයේ ඉදිරි වැඩ කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමටද අභියාචනාධිකරණ නියෝගයක් ලබාදී තිබිණ.

අභියාචනාධිකරණයෙන් එවැනි අවසරයක් දී තිබියදීත් ‘ආසියානු සම්මේලන’ කුසලාන හොකී තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගී කරවීම සඳහා හොකී සම්මේලනය පැවැත්වීමට කටයුතු යොදා තිබූ තේරීම් තරගාවලියට කී‍්‍රඩාංගණය නොදී සිටීමෙන් හොකී කී‍්‍රඩාවේ පරිහානියට කී‍්‍රඩා අමාත්‍යංශය කටයුතු කර ඇතැයි ශී‍්‍ර ලංකා හොකී සම්මේලන නිලධාරීහු කියති. 

 

- 036


අදහස් (0)

ආසියානු තරගාවලියේ දොර වැසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.