Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ආසියානු කනිෂ්ඨ තරගාවලියට 20 ක් යති

ආසියානු කනිෂ්ඨ තරගාවලියට 20 ක් යති

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලිය මේ මස 9 වැනිදා සිට 17 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ. මෙම තරගාවලිය අදියර දෙකකින් සමන්විත වන අතර එහි පළමු අදියර 9 වැනිදා සිට 12 වැනිදා දක්වා කණ්ඩායම් තරගාවලියක් ලෙසද, දෙවැනි අදියර 12 වැනිදා සිට 17 වැනිදා දක්වා කේවල සහ යුගළ තරගාවලියක් ලෙසද පැවැත්වේ.


සත්කාරක තායිලන්තයට අමතරව චීනය, හොං කොං, ඉන්දුනීසියාව, ඉන්දියාව, ඉරානය, ජපානය, කසක්ස්තානය, කොරියාව, මැකාවෝ, මැලේසියාව, මොංගෝලියාව, මියන්මාරය, පාකිස්තානය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය, චීන තායිපේ, වියට්නාමය යන රවටල් මෙම තරගාවලියට සහභාගි වෙති.  


කණ්ඩායම් තරගාවලිය සඳහා රටවල් 17 ක් සහභාගි වන අතර එහි  මූලික වටය ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ ලෙස කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙයි. එහි මූලික වටය 9 සහ 10 යන දින වලදී සාකල්‍ය (ලීග්) ක්‍රමයට අනුව පැවැත්වෙන අතර 11 වැනිදා අර්ධ අවසන් පූර්ව තරග සහ අවසන් පූර්ව තරගද, 12 වැනිදා අවසන් මහ තරගයද පැවැත්වේ.


කණ්ඩායම් තරගාවලියේ එක් තරග වටයක් සඳහා බාලක කේවල තරගයක්, බාලිකා කේවල තරගයක්, බාලක යුගළ තරගයක්, බාලිකා යුගළ තරගයක් සහ මිශ්‍ර යුගළ තරගයක් ඇතුළත් වේ.


කේවල සහ යුගළ තරගාවලිය සඳහා රටවල් 19 ක් සහභාගි වන අතර එහිදී බාලක කේවල, බාලිකා කේවල, බාලක යුගළ, බාලිකා යුගළ සහ මිශ්‍ර යුගළ යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.


එහි මූලික වටයේ තරග 13 වැනිදා පැවැත්වෙන අතර පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග 14 වැනිදා ද, අර්ධ අවසන් පූර්ව වටයේ තරග 15 වැනිදා ද, අවසන් පූර්ව වටයේ තරග 16 වැනිදා ද පැවැත්වේ. කාණ්ඩ පහේම අවසන් මහ තරග 17 වැනිදා පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙක් සහභාගි වීමට නියමිත අතර කේවල සහ යුගළ තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙක් සහභාගි වීමට නියමිතය.


කණ්ඩායම් තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින අතර ‘බී’ කාණ්ඩයට ඇතුළත්ව සිටින සෙසු රටවල් වන්නේ ජපානය, හොං කොං සහ මැකාවෝ රාජ්‍යයි.


ක්‍රීඩකයන් 7 දෙනෙක් (කසුන් අමරසේන, තරිඳු අfඕගොඩ, ඕෂද ද සිල්වා, මධුක දුලාංජන, සෙව්මිණ ගුණතිලක, ගවින් මොරගොඩ, රන්තුෂ්ක සසිඳු) සහ ක්‍රීඩිකාවන් 8 දෙනෙක් (හසිනි අම්බලන්ගොඩගේ, ඩිල්මි ඩයස්, බුත්මි ගලගමගේ, කවිෂ්කා ගුණරත්න, ලසංගනා හෙට්ටිආරච්චි, ඉනුරි කුරුප්පු, තනුෂි රත්නායක සහ හසාරා විජේරත්න) කණ්ඩායම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරති.


ඔවුන්ට අමතරව චමත් ඩයස්, කවිෂ්ක ගුණරත්න, චිරාත් ඉලේපෙරුමාරච්චි, නිලේෂ් විජේසේකර, විෂ්මි එදිරිසිංහ සහ සිතුමි ගුරුසිංහ යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කේවල සහ යුගළ තරගාවලියේදී ශ්‍රී ලංකා නියෝජනය කරති.


තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (8 වැනිදා) වැනිදා අලුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස දිනේෂ් මල්ලියවඩු සහ ධනුෂ්ක ප්‍රනාන්දු යන මහත්වරුද, කළමනාකරු ලෙස රංජිත් පයාගල මහතාද කටයුතු කරති.


අදහස් (0)

ආසියානු කනිෂ්ඨ තරගාවලියට 20 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.