Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඇල්කසබා මෙහෙයවූ ශ්‍රීනාත් ආණ්ඩුකාර කුසලාන ගෙනඑයි

ඇල්කසබා මෙහෙයවූ ශ්‍රීනාත් ආණ්ඩුකාර කුසලාන ගෙනඑයි

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන නුවරඑළිය තුරඟ තරගාවලි මාලාවේ සිවුවැනි අදියරේ ප්‍රධානතම තරගය වූ ‘ආණ්ඩුකාර කුසලාන’ තරගය ජයගැනීමට ඇල්කසබා තුරඟා මත නැගී ගිය වයි. එස්. ශ්‍රීනාත් සමත් විය. මීටර් 1600 ක දුරකින් සමන්විත වූ එම තරගය ජයගැනීම වෙනුවෙන් ඇල්කසබා තුරඟාගේ හිමිකාරිණිය වූ දීප්තිකා ජයකොඩි මෙනවියට ආණ්ඩුකාර කුසලාන සමගින් රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගයක් හිමිවිය.

ආණ්ඩුකාර කුසලාන තරගය ආරම්භයේදී පෙරමුණ ගැනීමට සන්තෝෂ් තුරඟා මෙහෙයවූ එල්. දයාලන් සමත් වූ අතර මීටර 1300 ක පමණ දුරක් නිමා වන තෙක් ඔහු එහි පෙරමුණේ ගමන් කළේය. එහෙත් අවසන් මීටර් 300 ආරම්භවනවාත් සමගම ඔහුගේ වේගය තරමක් අඩාල වූ අතර එතෙක් දෙවැනි ස්ථානයේ ගමන් කළ චාලමේන් තුරඟා මෙහෙයවූ ඒ. විෂ්වනාත් ඉන් නිසි ප්‍රයෝජනගනිමින් තරගයේ පෙරමුණට පැමිණියේය.

විෂ්වනාත් එලෙස තරගයේ පෙරමුණට පැමිණියද, වැඩි දුරක් ඔහුට පෙරමුණේ ගමන් කිරීමට ඇල්කසබා තුරඟා මෙහෙයවූ වයි. එස්. ශ්‍රීනාත් සහ සිල්වර් ස්ටී්‍රක් තුරඟා මෙහෙයවූ ඉර්වාන් සිං ඉඩ නොදුන්හ. අවසන් මීටර 100 ආරම්භ වන තෙක්ම තරගයේ පසු පසින් පැමිණි ශ්‍රීනාත් සහ ඉර්වාන් එකවරම සෙසු තරගකරුවන් පසුකර වේගයෙන් ඉදිරියට ඇදෙන්නට වූහ.

එතැන් සිට කරට කර සටනක නිරත වීමෙන් අනතුරුව අවසන් මීටර් 50 තුළදී ශ්‍රීනාත් පසුකර ඉදිරියට ඇදුණ ඉර්වාන් සිං පළමුවෙන්ම ජයග්‍රාහී සීමාව ඉක්මවා ගියේ ඇල්කසබා තුරඟාට තවත් ජයග්‍රහණයක් අත්කර දෙමිනි.

මෙම ජයගහණයත් සමගින් මෙතෙක් පැවැති තරගාවලි හතරෙන් තුනකම ප්‍රධාන තරග ජයගැනීමට ඇල්කසබා සමත් වී තිබේ. පෙබරවාරි මස 25 වෙනිදා පැවැති නිදහස් දින තුරඟ තරගාවලියේදී සහ මේ මස 2 වැනිදා පැවැති සෙල්වරත්නම් අභියෝග කුසලාන තරගාවලියේදී ඇල්කසබා මින් පෙර ලබාගත් ජයග්‍රහණ දෙකකට හිමිකම් කීවේය.

තරගාවලියේ වැඩිම දුරකින් (මීටර් 2000) සමන්විත වූ රැජින කුසලාන තරගය ජයගැනීමට කැප්ටන් හැඩොක් තුරඟා මෙහෙයවූ ඉර්වාන් සිං සමත් වූයේ තියුණු තරගයකින් අනතුරව සෙලෙස්ටියල් ෆයර් තුරඟා මෙහෙයවූ ඒ විශ්වනාත්, මෙහෙරාන් තුරඟා මෙහෙයවූ දීප් ශංකර් සහ රොස්වල්ඞ් තුරඟා මෙහෙයවූ වයි. එස්. ශ්‍රීනාත් පසුපසට ඇද දමමිනි.

අවසන් වරට පැවැති (මේ මස 16 වැනිදා) තුරඟ තරගාවලියේදී මැජික් මිලියන් කුසලාන තරගය ජයගත් මෙහෙරාන් තුරඟා මෙම රැජින කුසලාන තරගය ජයගනිති යැයි බොහොදෙනා බලාපොරොත්තු තබා සිටියද, ආරම්භයේදී පෙරමුණේ ගමන් කළ මෙහෙරාන්ට තරගය අතරතුරදී වේගය අඩාල වීම නිසා එහි තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.  

තරගාවලියේ තියුණුතම තරගය බවට පත් වූ බ්ලැක්පූල් හෝටල් කුසලාන තරගය ජයගැනිමට ස්ටෝමි පෙට්රල් තුරඟා මෙහෙයවූ එල්. රවී කුමාර් සමත් වූයේ හොනෝරියස් තුරඟා මෙහෙයවූ එස්. ප්‍රදීප් සහ වේටිං ෆෝ ග්ලෝරි තුරඟා මෙහෙයවූ එස්. සුගනාතන් සමග කළ තුන් කොන් සටනකින් අනතුරුවය. එම තරයේ අවසානය කෙතරම් තියුණු වූවාද කිවහොත් තරග විනිසුරුවන්ට පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන තෝරාගැනීම සඳහා එහි වීඩියෝ දර්ශන පවා නැරඹීමට සිදුවිය.

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේදී ‘හායි’ සඟරා කුසලාන වෙනුවෙන් පැවැති තරගය ජය ගැනිමට විගරස් තුරඟා මෙහෙයවූ එස්. පුනිතරාජ් සමත් වූ අතර ‘ලංකාදීප’ අභියෝග කුසලාන තරගය ජයගැනීමට අයි ටච් තුරඟා මෙහෙයවූ ඒ. ඩිලාන් සමත් විය. එහිදී පුනිතරාජ් මෙන්ම ඩිලාන්ද තරගකරුවන් 6 දෙනා බැගින් පරාජය කරමින් ඉතා පහසු ලෙස එම තරග දෙක ජයගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.

නුවරඑළිය තුරඟ තරග පිටියේදී ඉකුත් ඉරිදා (29 වැනිදා) පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස අධිවේගී මාර්ග සහ උසස් අධ්‍යාපන කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහභාගි විය.  

තරග වැදුණ අශ්වයා, එම අශ්වයා මෙහෙය වූ අසරුවා සහ අශ්වයාගේ හිමිකරු යන අනුපිළිවෙලට පහත දැක්වෙන තරග ප්‍රතිඵල සටහන පෙළගස්වා තිබේ.

තරග ප්‍රතිඵල

එව්. එන්. බී. ග්‍රාමීන් ෆිනැන්ස් කුසලාන තරගය (මීටර් 1070)
1 ක්‍රාබි - එම්. මෝහන්රාජ් -  ධනවර්ධන ගුරුගේ මහතා
2 ඔගස්ටා - ස්. සෙල්වරත්නම් - ගාමිණි ජයරත්න මහතා සහ මහත්මිය
3 බ්ලෙසින් බෙරි - එල්. රවි කුමාර් - ඬේවිඞ්  ඇන්තනී මහතා

එව්. එන්. බී. ග්‍රාමීන් ෆිනැන්ස් කුසලාන තරගය (මීටර් 1070) ජයගත් කාබ්‍රි අශ්වයා මෙහෙය වූ
එම්. මෝහන්රාජ් සහ හිමිකරු වූ ධනවර්ධන ගුරුගේ මහතා කුසලාන ලබාගනිමින්...

 

 

හායි සගරා කුසලාන තරගය (මීටර්  1070)
1 විගරස් - ස්. පුනීතරාජ් - අජන්ත  ද සොයිසා මහතා
2 ස්ටෝමොන්ට් - වයි. ස්. ශ්‍රීනාත් - රියෙන්සි එඞ්වඞ් මහතා සහ මහත්මිය
3 ටොපිඩෝ - ඒ. විශ්වනාත් -  අනුර දෙල්ගොඩ මහතා

හායි සගරා කුසලාන තරගය (මීටර්  1070) ජයගත් විගරස් අශ්වයා මෙහෙය වූ ස්. පුනීතරාජ් සහ
හිමිකරු වූ අජන්ත  ද සොයිසා මහතා කුසලාන ලබාගනිමින්...

 

බ්ලැක්පූල් හෝටල් කුසලාන තරගය (මීටර් 1400)
1 ස්ටෝමි පෙට්‍රල් - එල්. රවී කුමාර් - අන්ජලී අශ්වගාල
2 හොනෝරියස් - එස්. ප්‍රදීප් - ෆියර්ලස් අශ්වගාල
3 වේටින්ග් ෆෝ ග්ලෝරි - එස්. සුගනාදන්  - හසංග ජයරත්න මහතා

බ්ලැක්පූල් හෝටල් කුසලාන තරගය (මීටර් 1400) ජයගත් ස්ටෝමි පෙට්‍රල් අශ්වයා මෙහෙය වූ
එල්. රවී කුමාර් සහ අන්ජලී අශ්වගාලේ හිමිකරු කුසලාන ලබාගනිමින්...

 

රැජින කුසලාන  තරගය ( මීටර් 2000)
1 කැප්ටන් හැඩොක් - ඉර්වාන්  සිං - දීප්තිකා ජයකොඩි මෙනවිය
2 සෙලෙස්ටියල් ෆයර් - ඒ. විශ්වනාත් - අනුර දෙල්ගොඩ මහතා  
3 මෙහෙරාන් - දීප් ශන්කර් - හසංග ජයරත්න මහතා

රැජින කුසලාන  තරගය ( මීටර් 2000) ජයගත් කැප්ටන් හැඩොක් අශ්වයා මෙහෙය වූ ඉර්වාන්  සිං සහ හිමිකාරිණිය වන දීප්තිකා ජයකොඩි මෙනවිය කුසලාන ලබාගනිමින්...

 

ආණ්ඩුකාර කුසලාන තරගය (මීටර් 1600)
1 ඇල්කසාබා - වයි. එස්. ශ්‍රීනාත් - දීප්තිකා  ජයකොඩි මෙනවිය
2 සිල්වර් ස්ට්‍රීක් - ඉර්වාන් සිං - දීප්තිකා ජයකොඩි මෙනවිය
3 චාලමේන් - ඒ. විශ්වනාත්  - අන්ජලී අශ්වගාල

ආණ්ඩුකාර කුසලාන තරගය (මීටර් 1600) ජයගත් ඇල්කසාබා අශ්වයා මෙහෙය වූ
වයි. එස්. ශ්‍රීනාත් සහ හිමිකාරිණිය වන දීප්තිකා ජයකොඩි මෙනවිය කුසලාන ලබාගනිමින්...

 

අධිවේගී මාර්ග  හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ කුසලාන තරගය (මීටර් 1400)
1 ග්ලිටරින් - වයි. එස්. ශ්‍රීනාත් - රියෙන්සි එඞ්වඞ් මහතා සහ මහත්මිය
2 ස්පිරිටඞ් ටච් - සී. ඇල්ෆ්‍රඞ් - ෆියර්ලස් අශ්වගාල
3 අයිස්ලැන්ඩික් - එස්. සුගනාදන් - හසංග ජයරත්න මහතා

අධිවේගී මාර්ග  හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ කුසලාන තරගය (මීටර් 1400) ජයගත් ග්ලිටරින් අශ්වයා මෙහෙය වූ වයි. එස්. ශ්‍රීනාත් සහ හිමිකරුවන් වන රියෙන්සි එඞ්වඞ් මහතා සහ මහත්මිය කුසලාන ලබාගනිමින්...

 

ලංකාදීප  අභියෝග කුසලාන  තරගය (මීටර් 1000)
1 අයි ටච් - ඒ. ඩිලාන් - බාලචන්ද්‍රන් මහතා  
2 මිස්ටි ක්වීන් - එම්. මෝහන්රාජ් - එස්. වී. මදියලගන් මහතා
3 ෆ්ලෑෂ් - එල්. ලොගේන්ද්‍රන් - ශිව කුමාර් මහතා

ආණ්ඩුකාර කුසලාන තරගය (මීටර් 1600) ජයගත් අයි ටච් අශ්වයා මෙහෙය වූ ඒ. ඩිලාන් සහ
හිමිකරු වන
බාලචන්ද්‍රන් මහතා කුසලාන ලබාගනිමින්...


(ඡායාරූප - ශානුක අරවින්ද)


අදහස් (0)

ඇල්කසබා මෙහෙයවූ ශ්‍රීනාත් ආණ්ඩුකාර කුසලාන ගෙනඑයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.