Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner කරූ - බණ්ඩාර ද්වන්ධ සටනක

කරූ - බණ්ඩාර ද්වන්ධ සටනක

ශනුක අරවින්ද - 2018 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ක්‍රීඩා සමාජ පිනවන පොරොන්දු රැසක් දීම නිසා “පුංචි ඡන්ද සටනක් බවට පත්ව තිබෙන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය හෙට (12 වැනිදා) පෙරවරු 9.00 ට ටොරින්ටන් පෙදෙසේ ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. අද පැවැත්වෙන පා පැදි නිලවරණයට අපේක්ෂකයන් තිදෙනකු සභාපති ධුරය සඳහා නාමයෝජනා භාරදී තිබුණත් ප්‍රධාන සටන පවතින්නේ අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා හා ඩබ්. එම්. එස්. බණ්ඩාර මහතා අතරය.

ඒ සඳහා නාමයෝජනා භාරදී තිබෙන අනෙක් අපේක්ෂකයා වන්නේ විල්මන් පෙරේරා මහතාය. කෙසේ වෙතත් මහරගමදී සභාපති අපේක්ෂක ඩබ්. එම්. එස්. බණ්ඩාර මහතා පෙරේදා (10) සිය දැක්ම ඉදිරිපත් කර සිටි අවස්ථාවට විල්මන් පෙරේරා මහතාද ක්‍රීඩා සමාජ නියෝජිතයන් සමග සහභාගි වී සිටියේය.

පාපැදි සම්මේලනයේ වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා නැවත එම ධූරයට ඉදිරිපත්වීමට දැරූ උත්සාහය අසාර්ථක වූයේ ඔහුට එරෙහිව සභාපති අපේක්ෂක විල්මන් පෙරේරා මහතා ගොනු කළ විරෝධතාවක් අභියාචනා කමිටුව පිළිගැනීම නිසාය. එසේ වුවත් ඒ වනවිට වත්මන් සභාපතිවරයාගේ නාමයෝජනාව නිලවරණ කමිටුව පිළිගෙන තිබියදීත් අභියාචනා කමිටුව ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අතර අභියාචනා කමිටුව නාමයෝජනා විරෝධතා අභියාචනා විභාගයේදී ගත් තවත් තීරණයක්ද දැඩි අවධානයට යොමුවිය. ඒ නිලවරණ කමිටුව ප්‍රතික්ෂේප කළ එන්. කරුණාරත්න මහතාගේ නාමයෝජනාව අභියාචනා කමිටුව විසින් පිළිගනු ලැබීම නිසා ඔහුට නිලවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව හිමිවිය.

ශ්‍රී ලංකා පා පැදි සම්මේලනයේ පරිපාලන අර්බුද ඔඩු දිවීම හේතුවෙන් එහි නිලවරණය පසුගිය මැයි මාසයේ සිට පැවැත්වීමට ගත් උත්සාහය සිව් වරක්ම අසාර්ථක විය. ඒ අතර නාමයෝජනා කැඳවීමේදී ඉදිරිපත්වූ නාමයෝජනා 34 න් 16 ක්ම නිලවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

නිලවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා සම්බන්ධයෙන් පසුව ක්‍රීඩා අමාත්‍යංශය පත් කළ අභියාචනා කමිටුවට ගොනුවූ අභියාචනා නවයෙන් පහක්ම පිළිගනු ලැබිණ. එබැවින් එන්. කරුණාරත්න (සභාපති අපේක්ෂක), නිශාන්ත පියසේන (උප සභාපති අපේක්ෂක), නලින් අධිකාරිආරච්චි (උප ලේකම් සහ උප සභාපති අපේක්ෂක) යූ. ජී. ඒ. රුද්‍රිගු (උප සභාපති අපේක්ෂක) ඩබ්. එම්. එස්. බණ්ඩාර (සභාපති අපේක්ෂක) යන මහත්වරුන්ට නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව තහවුරු විය.

පා පැදි සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වන එන්. කරුණාරත්න මහතා උස්වැටකෙයියාවේදී සිය දැක්ම ක්‍රීඩා සමාජ වෙත ඉදිරිපත් කර සිටියේය.

සම්මේලනයේ මුල් පුටුවට පත්වුවහොත් ජාතික ශූරතාවලිය නැවත පැවැත්වීම, අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියක් පැවැත්වීම, ස්ටෑන්ඩඞ් පාපැදි තරග සඳහා වැඩි අවස්ථාවක් සළසාදීම, ක්‍රීඩකයන්ගේ වර්ගීකරණය නව මුහුණුවරකින් කිරීම ජාතික පාපැදි සමුළුවක් සංවිධානය කිරීම, විධිමත් අන්තර් ජාතික තරග සැලැස්මක් ක්‍රියාවට නැගීමක් වේ.

මහරගමදී මාධ්‍යවේදීන් ඇමතූ පා පැදි සම්මේලනයේ හිටපු උප සභාපතිවරයෙකුමෙන්ම භාණ්ඩාගාරිකවරයකු ද වන ඩබ්. එම්. එස්. බණ්ඩාර මහතා දේශීය පාපැදි ක්‍රීඩාව නැංවීම සඳහා සිය වැඩ සටහන එළි දක්වා සිටියේය. එහිදී කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන යන කාණ්ඩ තුනක සංවර්ධන සැලැස්මක් තමන් ක්‍රියාවට නඟන බව පැවසීය.

ක්‍රීඩකයන්ගේ සුබ සාධනයට එහිදී වැඩි ඉඩකඩක් ලැබෙන බවත් පාපැදි සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය කරන බවත් ඔහු එහිදී පැවැසීය. අද පැවැත්වෙන පාපැදි සම්මේලනයේ නිලවරණය සඳහා ක්‍රීඩා සමාජ 41කට ඡන්ද බලය ලැබෙන අතර ඊට ප්‍රථම පැවැත්වෙන එහි මහ සභා රැස්වීමට ක්‍රීඩා සමාජ 58 ක නියෝජිතයෝ සහභාගි වෙති.

සම්මේලනයේ ලේකම් ධුරයට නිහාල් කුලසේකර මහතා දැනටමත් නිතරගයෙන් පත්ව සිටියි.

අද පැවැත්වෙන නිලවරණයේදි උප සභාපති ධුර හයක් සඳහාද භාණ්ඩාගාරික, උප ලේකම් හා උප භාණ්ඩාගාරික ධුර සඳහාද ඡන්ද විමසුම සිදු කිරීමට නියමිතය. උප සභාපතිධුර හයක් සඳහා නාමයෝජනා 14ක් ලැබී තිබේ. තවත් උප සභාපති ධූරයක් පාසල් පාපැදි සංගමයට වෙන්කර තිබේ.

 


අදහස් (0)

කරූ - බණ්ඩාර ද්වන්ධ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.