Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 66 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කරන 18 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර ජයගැනීමට වරාය අධිකාරියේ චාමික සඳුන් කුමාර සමත් විය. තරගය නිමා කළ පළමු තරගකරුවන් 12 අතරින් ආරක්ෂක අංශයන්ට අයත් නොවන එකම ක්‍රීඩකයා වූයේද චාමික සඳුන් කුමාරය.
ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල් සහ නවීන් රුචිර පිළිවෙලින් පළමු අදියරේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත්හ. පළමු පොකුරේ පැමිණි ක්‍රීඩකයන් 12 දෙනාම පැය 4.46:12 ක කාලයකින් තරගය නිමා කිරීම මෙහිදී කැපීපෙනෙන සිදුවීමක් විය.
අබාන්ස් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම පාපැදි සවාරියේ පළමු අදියර ඊයේ (3 වැනිදා) පෙරවරු 8.30 ට කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වී පුත්තලම දක්වා කිලෝ මීටර් 128.2 ක දුරක් ගමන් කිරීමෙන් අනතුරුව අවසන් විය. පළමු අදියර සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් තරගකරුවන් 185 දෙනෙක් සහභාගි වූ අතර ඉන් 140 දෙනෙක් තරගය අවසන් කළහ.
මෙවර පාපැදි සවාරියට ඉන්දීය ගුවන් හමුදාවේ සහ පාකිස්තාන ගුවන් හමුදාවේ තරගකරුවන් පිරිසක්ද සහභාගි වූ අතර ඔවුන් අතරින් මංජිත් සිං 7 වැනියා ලෙස පළමු අදියර නිමා කිරීමට කැපී පෙනෙන සිදුවීමක් විය.
පළමු අදියර ජයගැනීමට චාමික සඳුන් කුමාර සමත් වුවද, එම අදියර අතරතුර පැවැති විශේෂ අවස්ථාවන් වලදී ලබාගත් ප්‍රසාද ලකුණු වල එකතුවට අනුව මේ වන විට සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට දෙවැනි ස්ථානය හිමිකරගත් සමන්ත ලක්මාල් සමත්ව සිටියි. ඒ අනුව සමස්ථ තරගයේ පෙරමුණ ගන්නා ක්‍රීඩකයාට හිමිවන කහ පැහැති බැනියම පැළඳ ලක්මාල් අද (5 වැනිදා) පැවැත්වෙන දෙවැනි අදියරට සහභාගි වීමට නියමිතය. දෙවැනි අදියර පුත්තලමේ සිට වව්නියාව දක්වා පැවැත්වෙන අතර එහි දුර කිලෝ මීටර් 138.5 කි.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී වේගවත්ම ක්‍රීඩකයා ලෙස රන් පදක්කම දිනූ ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහට හිමිවූවේ පළමු අදියරේ 13 වැනි ස්ථානයයි. දෙවැනි පොකුරේ පැමිණි ක්‍රීඩකයන් අතුරින් ඉදිරියෙන්ම තරගය නිමා කිරීමට ඔහු සමත් විය.
ඉකුත් වසරේ පැවැති ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත ශූරතාව දිනාගත් ගුවන් හමුදාවේ අශේන් තාරකට මෙවර පාපැදි සවාරියේ පළමු අදියරේ 47 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.
පළමු අදියරේ ප්‍රතිඵල
1 චාමික සඳුන් කුමාර (වරාය අධිකාරිය)
2 සමන්ත ලක්මාල් (ගුවන් හමුදාව)
3 නවීන් රුචිර (ගුවන් හමුදාව)
4 සුපුන් ප්‍රදීප් කුමාර (යුද හමුදාව)
5 අවිෂ්ක උමයංග (පොලිසිය)
6 කුෂාන් රාජපක්ෂ (යුද හමුදාව)
7 මන්ජිත් සිං (ඉන්දීය ගුවන් හමුදාව)
8 ඩිල්ෂාන් නයනප්‍රිය (ගුවන් හමුදාව)
9 ඬේන් නුගේරා (ගුවන් හමුදාව)
10 දිමුතු සංජීව (ගුවන් හමුදාව)
(ඡායාරූප - ගුවන් හමුදා නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.