Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner පරිපාලන අර්බුද වලින් ක්‍රීඩාව පරිහානියට

පරිපාලන අර්බුද වලින් ක්‍රීඩාව පරිහානියට

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෙටින් (31) නිමාවට පත්වෙන 2017 වසර මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට සුබදායි වසරක් නොවූ බව ක්‍රීඩා ප්‍රවීනයන් බහුතරයකගේ මතයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩාවැටීම තුළින්ම ඒ බව පැහැදිලි වන අතර යම් තරමක ජාත්‍යන්තර කීර්තියක් ගොඩනගාගෙන තිබූ ක්‍රීඩා ඉසව් කිහිපයකින්ද ශ්‍රී ලංකාව 2017 දී පෙන්වූයේ දැවැන්ත පසුබෑමකි.  2017 වසරේ දී අයවැයෙන් භාණ්ඩාගාරය රුපියල් මිලියන 6819.47ක් හෙවත් රුපියල් කෝටි 681 ක මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශයට වෙන් කර තිබියදී එම තත්ත්වය වාර්තා විය.

එහිදී එතරම් විශාල මුදලක් රටේ ක්‍රීඩා සුභසාධනය සඳහා වෙන්කර තිබුණත් පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වනවිට අමාත්‍යාංශය වියදම් කර තිබුණේ රුපියල් මිලියන 2564.29ක් හෙවත් මුළු ලැබීම්වලින් 37.60% කි. රටේ ක්‍රීඩාවට මෙතරම් අභාග්‍යසම්පන්න ඉරණමක් අත්වීම ගැන රටේ ක්‍රීඩා බලධාරියා වන ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසන්නේ රජය පැත්තෙන්  කළයුතු සෑම දෙයක්ම ඉටුකර තිබියදී 2017 ක්‍රීඩාවේ කඩා වැටීමක් ගැන තමන්ටද පිළිගැනීමට සිදුව තිබෙන බවයි.

මේ වනවිට රජයේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් ගණන 61 ක් දක්වා ඉහළ ගොස් තිබේ.  රෝද සපත්තු, බැලේ නැටුම් (බෝල්රූම්) සඳහා ද මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා සංගම් ලියාපදිංචි කර තිබේ. ක්‍රීඩා ඉසව් 61 ක් ශ්‍රී ලංකාව තුළ රජය පිළිගෙන තිබුණත් මේ රටේ ජනතාවට තවමත් වඩාත්ම දැනීම් ඇත්තේ ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා ඉසව් කීපයක් පිළිබඳව පමණි.

පාපන්දු ක්‍රීඩාව කෙතරම් පරිහානියකට පත්වූයේද යත් පාපන්දු ඉතිහාසයේ පළමු වතාවට රටවල් 207 කින් 200 වැනි ස්ථානය දක්වා  පල්ලම් බැස ගොස් තිබුණි. ජාතික පාපන්දු පුහුණුකරු අවුරුද්දක්ම නිකන්ම හිටියා පමණක් නොව පසුගිය වසර පුරාම ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ක්‍රියාත්මක නොවීය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීමේ ප්‍රගතියද 2017 වසරේදී කඩා වැටී තිබේ. ශ්‍රී ලංකාව එහිදී ජාත්‍යන්තර පදක්කම් 79 ක් පසුගිය සැප්තැම්බර් 30 වන විට හිමිකර ගෙන තිබුණු බව ක්‍රීඩා අමාත්‍යාංශයේ 2017 ප්‍රගති වාර්තාව කියයි. ඒ රන් පදක්කම් 29 ක්, රිදී පදක්කම් 39 ක්, හා ලෝකඩ පදක්කම් 11 ක් පරිදිය. ශ්‍රී ලංකාව දිනා ගත් එම රන් පදක්කම් 29 න් 21 ක්ම දිනා ඇත්තේ සිව් වැනි ආසියානු කරාටේ ශූරතාවලියේදීය.
පදක්කම් දිනාගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය නිරන්තරයෙන්  මුල්‍යාධාර ලබාදෙන මලල ක්‍රීඩාවේ පිරිහීමද එම පදක්කම් සටහනෙන් කියාපායි.

බෲනායි විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් පහක් එහිදී දිනාගෙන තිබේ. ශ්‍රී ලංකාව මෙම වසරේදී සහභාගි වූ ප්‍රධානතම අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක් දිනා තිබේ. කබඩි හා කායවර්ධන යන ක්‍රීඩා ඉසව් වෙතින්ද ශ්‍රී ලංකාව ඒ වනවිට රන් පදක්කම් දිනා තිබුණු අතර ඒ වනවිට බර ඉසිලීම, පිහිනුම් යන ක්‍රීඩා ඉසව් වෙතින් ද ශ්‍රී ලංකාව පදක්කම් හිමි කර ගැනීමට සමත්ව තිබුණි.

ශ්‍රී ලංකාව  මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර පදක්කම් දිනාගැනීම කෙරෙහි වඩාත්ව විශ්වාසය තබා තිබෙන බැවින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙනත් ජාතික ක්‍රීඩා සංගම්වලට ලබා නොදෙන තරමේ අනුග්‍රහයක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට දෙන බව නොරහසකි.

ඒ හේතුවෙන් සමහරු මලල ක්‍රීඩා අමාත්‍යාංශය යනුවෙන් ද ක්‍රීඩා අමාත්‍යාංශය හැඳින්වීමට පුරුදුව සිටියහ. නමුත් රටේ පිළිගත් එකම  ජාත්‍යන්තර කෘත්‍රිම ධාවන පථය පිළිසකර කිරීමට 2017 වසර අවසන් වෙන තෙක් බලධාරීහු අපොහොසත් වූහ. එපමණක්ද නොව විකල්පයක් ලෙස යොදා ගන්නා මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථයද මේ වනවිට විනාශයට පත්ව තිබෙන බැවින් ජාත්‍යන්තර පදක්කම් දිනාගනු ඇතැයි අපේක්ෂා කරන ජාතික මට්ටමේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2017 වසරේදී කබලෙන් ලිපට වැටී තිබේ.

එම තත්ත්වය කොතෙක්ද යත් ‘ගෝල්ඞ් කෝස්ට්’ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තේරීමේ තරග විදේශයක දී පැවැත්වීමට මේ වනවිට මලල ක්‍රීඩා සංගමයට සිදුව තිබේ. ඊට හේතුව සුගතදාස පිටියේ කෘත්‍රිම ධාවන පථය ඇතිරීම ආරම්භ කිරීම දිගින් දිගටම ප්‍රමාදවීම හේතුවෙනි.
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවෙන් පසුගිය  වසර පුරා ශ්‍රී ලංකාව සහභාගි වී තිබෙන ජාත්‍යන්තර තරග මාලා ගණන පහකි.

කෙසේ වුවත් අන්තර්ජාතික පිටියේ ශ්‍රී ලංකාවේ දස්කම් මේ වසරේදී ද ඉදිරියට නොගියත් වෙරළ වොලිබෝල් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව මෙම වසරේ දී ආසියානු ශූරතා ලෝකඩ පදක්කමක් දිනා තිබේ. ආසියානු කලාපයේ රටවල් 65 අතුරින් ශ්‍රී ලංකාව 2017 අවසානය වන විට 14 වැනි ස්ථානයේ පසුවේ.   ඒ අතර ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මුල් පුටුවට පත්වීමෙන් පසුව මෙම වසරේදී  ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දේශීය තරග මාලා වඩාත් සාර්ථකත්වයෙන් අවසන් කිරීමට සමත්ව තිබෙන අයුරක් මේ ගෙවී යන 2017 වසරේදී පෙන්නුම් කරයි.

2017 වසරේදී මෙරට ක්‍රීඩා පරිපාලනයේ අර්බුද වඩාත් උත්සන්න තත්ත්වයකට පත්වූ බවක්ද පෙන්නුම් කරයි. නිලධාරීහු පාර්ශ්වවලට බෙදී මත ගැටුම් ඇතිකර ගැනීම තුළ  හෙටින් ගෙවන වසර බොහෝ අය දුටුවේ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ අර්බුදවලින් ගහණ වසරක් ලෙසය.

එහි එක් පියවරක් ලෙස මේ වනවිට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනයට ජාත්‍යන්තර තහනමක් පනවා තිබේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය 2017-21 පරිපාලන අර්බුද  හේතුවෙන්  මේ දක්වා පැවැත්වීමට  නොහැකිව තිබේ.

ශ්‍රී ලංකා ආධුනික කබඩි සම්මේලනයේ නිලවරණය එම අර්බුද නිසාම ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පැවැත්විණි. ජූඩෝ සම්මේලනයේ නිලවරණය ද පවත්වා අවසන් කළත් එහි පරිපාලන අර්බුද  තවමත් විසඳී නොමැත.

කායවර්ධන සම්මේලනය පසුගිය වසර පුරාම පරිපාලන ගැටුම් ඇති කරගත් තවත් ජාතික ක්‍රීඩා සම්මේලනයකි. එහි ප්‍රතිඵලයක් ලෙස කොරියාවේ දී පැවැති ආසියානු කායවර්ධන ශූරතාවලියක සමස්ත  ජයග්‍රාහකයා වූ ලූෂන් ඇන්ටන් පුෂ්පරාජ්ට ශ්‍රී ලංකාවේ නිල පිළිගැනීම අහිමි විය. හොකී සම්මේලනයේ පරිපාලන අර්බුද හේතුවෙන් එහි කටයුතු දැන් වසර කිහිපයක් තිස්සේ නිල වශයෙන් ක්‍රියාත්මක නොවේ.

දැල්පන්දු සම්මේලනයේ නිලවරණය  පවත්වා  සම්පූර්ණ කිරීමට සිදුවූයේ අවස්ථා කිහිපයක දී මහ සභාව රැස් කරමිනි. මේ වනවිට එහි ලොකුම අර්බුදය බවට පත්ව ඇත්තේ ජාතික පුහුණුකාරිණිය නිර්දේශ කිරීම සම්බන්ධයෙන් උද්ගතව තිබෙන අර්බුදයයි.

කැරම් සම්මේලනයේ නිලවරණය ද මෙම වසරේ දී අවස්ථා කිහිපයක දී කල්ගොස්  පැවැත්වීමට සිදුවූයේ නිලධාරීන්ගේ ඇණකොටා ගැනීම් නිසාය.

එල්ලේ සම්මේලනයේ නිලවරණය අද (30) මීගමුවේදී පැවැත්වීමට නියමිතව තිබුණි. එයද අවස්ථා කිහිපයකදීම විවිධ අර්බුද හමුවේ  අත්හිටුවා තිබුණි. වුෂු, අත්පන්දු (හෑන්ඞ් බෝල්) ආදි තවත් ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක් පිළිබඳවත් නිලවරණයේ දී එවැනි කතාබහක් ක්ෂේත්‍රයේ ඇතිවී තිබුණි.

වසර අවසානය වනවිට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශේෂිතම සිදුවීම වූයේ අළුයට සැඟවී තිබුණු බව පැවසෙන ජාතික ඔලිම්පික් කමිටුවේ පරිපාලන අර්බුද සිව් වඩාත් උත්සන්න තත්ත්වයෙන් පැනනැගීමය.

එය වසර 2013 ට වඩා වෙනස් ස්වරූපයක් ගත්තේ ඔලිම්පික් කමිටුවේ දැනට සිටින නිලධාරි මණ්ඩලයද දෙපාර්ශ්වයකට බෙදී සිටීම නිසාය. ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ එළඹෙන නිලවරණය පැහැදිළිවම තියුණු තරගයක් වන ලකුණු දැනටමත් පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකාව 2017 වසරේදී දිනාගත් ජාත්‍යන්තර ජයග්‍රහණ අතර මලයාසියාවේ “ඉෆෝ” නගරයේ දී පැවැති ආසියානු රග්බි ශූරතාවලියේ දී අනුශූරතාව ලැබීමද සඳහන් කළ හැකිය.

මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට සකි්‍රීය දායකත්වයක් නිරන්තරයෙන් දක්වන විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් එහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. ලන්ඩන් නුවරදී පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රිදී පදක්කමක් දිනා දීමෙන් ඔවුන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ වඩාත් ඉහළට ඔසවා තැබීමට වෙහෙසීම එහිලා සිහිපත් කළ යුතුය.

රටේ ක්‍රීඩා පරිපාලනයට ප්‍රවේශ වෙන්නන් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය නීති රීති හා වගන්ති මාලාවක් හඳුන්වා දුන්නත් ක්‍රීඩා පරිපාලනයේ අර්බුදවල නිමක් පෙනෙන්නට නැත. එම බොහෝ අර්බුදවලට මුල්වී ඇති ප්‍රධාන කරුණක් වන්නේ ද විනිවිදභාවයකින් තොරව ඉදිරිපත් කෙරෙන ගිණුම් වාර්තාවන් ය.

නිලධාරින්ගේ මෙම ගැටුම් පදක්කම් දිනන්න බලාපොරොත්තුව සිටින රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසිසේත් අදාළ නැත. එහෙත් එයින් වඩාත් අගතියට පත්ව ඇත්තේද ඔවුන්ම බව ශ්‍රී ලංකාවට පැනවූ බැඞ්මින්ටන් ජාත්‍යන්තර තහනමෙන් පෙනේ.

අනෙක් අතට රටේ ක්‍රීඩාව කඩා වැඩීම ගැන ක්‍රීඩා ඇමැතිවරයාටම චෝදනා කරමින් තරග වැදීම සාධාරණ නැත. ක්‍රීඩා අමාත්‍යාංශයේ 2017 ප්‍රගති වාර්තාව දෙස බැලීමේ දී ක්‍රීඩා ඇමැතිවරයා රටේ ක්‍රීඩාව නැංවීමට යම් සාධාරණ උත්සාහයක නිරතව සිට ඇති බවත් පැහැදිළි වේ.

එසේ නම් එම තත්ත්වය අවම කර ගැනීමට හෝ ගත යුතු ක්‍රියාමාර්ග කවරේද? ඒ සම්බන්ධයෙන් මේ රටේ බහුතරයක් වන ක්‍රීඩා ප්‍රවීණයන්ගේ අදහස වන්නේ රටේ අනෙකුත් අංශවලද දක්නට ලැබෙන පරිදි රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ද සුදුස්සාට සුදුසු තැන නොලැබෙන තත්ත්වයක් තුළ මෙසේ රටේ ක්‍රීඩා පරිපාලනයේ ද නිමක් නැති අර්බුද පැන නැගී තිබෙන බවයි.

ඒ අතර දිගුකාලීන සැලසුම් හා නවීන තාක්ෂණයද එක් නොවන තුරු මේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ මන්දගාමී ස්වරූපය වෙනස් කළ නොහැකි බවට මත ඉදිරිපත් කරන්නෝ ද වෙති.
 

 


අදහස් (0)

පරිපාලන අර්බුද වලින් ක්‍රීඩාව පරිහානියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.