Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ප්‍රංශ විවෘත ශූරතාවලියෙන් ප්‍රබලයන් ඉවතට

ප්‍රංශ විවෘත ශූරතාවලියෙන් ප්‍රබලයන් ඉවතට

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ටෙනිස් පිටියේ විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් උරගා බලන වසරේ දෙවැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලිය පැරිස් නුවර රෝලන්ඞ් ගැරොස් ක්‍රීඩාංගණයේදී ඊයේ (28 වැනිදා) ආරම්භ වෙද්දී ටෙනිස් පිටියේ ප්‍රබලයෝ  තිදෙනෙක් පැත්තකට වී සිටියහ. කාන්තා හා පිරිමි කේවල තරගවල ජයග්‍රාහකයන්ට යුරෝ මිලියන 2.1 ක තෑගි මල්ලක් (රුපියල් කෝටි 36 ක්) පිරිනැමෙන මෙම ධනවත් ටෙනිස් ශූරතාවලියේ ආරම්භය කිසිදු පූර්ව අනාවැකිවලින් තොරව සිදුවූයේ සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තිදෙනෙක්ම මේ තරගාවලියට ක්‍රීඩා නොකරන බැවිනි.

තරගාවලිය ආරම්භවීමත් සමග ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පත්වූ ජර්මනියේ ඇන්ජෙලික් කේබර් අනපේක්ෂිත ලෙස පළමු වටයෙන්ම ඉවතට විසිවීමත් නිසා තරගාවලිය තරමක් උණුසුම් වී තිබේ.

ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 18 කට හිමිකම් කියන ලෝක ටෙනිස් පිටියේ හිටපු අංක එකේ ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් මේ තරගාවලියට එක්නොවූයේ එය සතියක් ප්‍රමාදවී ආරම්භ කිරීම නිසාය. එය තම තරග කාලසටහනට බාධාවක් කියමින් තරගාවලියට  ක්‍රීඩා කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය. රොජර් වැඩිපුර කැමැත්තක් දක්වන්නේ තණකොළ සහිත විම්බල්ඩන් වැනි තරග පැවැත්වෙන පිටිවලටය. ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය පැවැත්වෙන මැටි සහිත පිටිවලට ඔහුගේ වැඩි කැමැත්තක් නැත.

ලෝක කාන්තා ටෙනිස් පිටියේ පෙරමුණේ පසුවූ අමෙරිකාවේ සෙරීනා විලියම්ස් මාතෘත්වය ලැබීමට සූදානමින් පසුවන බැවින් මේ තරගාවලියට පමණක් නොව මුලු වසරේදීම තරග බිමට එක් නොවීමට තීරණය කොට තිබේ.
සමස්ත ජයග්‍රාහකයන්ට යුරෝ මිලියන 32 ක් බෙදා දෙන (රුපියල් කෝටි 546) ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය මෙවර පැවැත්වෙන්නේ 116 වැනි වරටය. වසරේ පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලිය වන ඕස්ට්‍රේලියානු විවෘත ශුරතාවලිය ජයගත් ශූරයා සහ ශූරිය (සෙරීනා සහ ෆෙඩරර්) ප්‍රංශ විවෘත තරගාවලියට ක්‍රීඩා නොකරන්නේ ඉතිහාසයේ පළමුවතාවටය.

සෙරීනාගේ ප්‍රබලතම ප්‍රතිවාදිනිය වන රුසියාවේ මරියා ෂරපෝවාට තරගාවලිය අහිමිවී ගියේ තහනම් උත්තේජක භාවිතය නිසා ලැබූ මාස 15ක තරග තහනමින් පසුව යළි ප්‍රධාන පෙලේ තරගාවලියකට සූදානම් වීමට කාලය මදිවීම නිසාය. ග්‍රෑන්ඞ් ස්ලෑම් වැනි ප්‍රධාන මට්ටමේ තරගාවලියට එක්වීමට නම් ඒ සඳහා ශ්‍රේණිගත කිරීම්වලට එක්වීමට ලෝක ටෙනිස් සම්මේලනයේ තරගාවලි කිහිපයකට ක්‍රීඩා කළ යුතුය. වයිල්ඞ් කාඞ් ක්‍රමයේ පිහිටෙන් ෂරපෝවා එම අවස්ථාව ලබාගත්තත් ඒවා එතරම් සාර්ථක වූයේ නැත.

ප්‍රංශ විවෘත තරගාවලියට වයිල්ඞ් කාඞ් ක්‍රමය මගින් එක්වීමේ දුර්ලභ අවස්ථාවක් ඇයට උදාවී තිබූ අතර ඊට ඇගේ ප්‍රතිවාදී ක්‍රිඩිකාවන් දැක්වූ විරෝධතාව නිසා එවැනි අවස්ථාවක් ලබාගැනීම ෂරපෝවා ප්‍රතික්ෂේප කළාය.
මෙවර තරගාවලියේ තෑගි මුදල් පසුගිය වසරේ තරගාවලියට වඩා වැඩි කර ඇති අතර අනුශූරයන්ට හිමිවන මුදල් ප්‍රමාණය යුරෝ මිලියනයකි (රුපියල් කෝටි 17ක්).


- 077

 


අදහස් (0)

ප්‍රංශ විවෘත ශූරතාවලියෙන් ප්‍රබලයන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.