Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner පාපැදි සංගම් දෙකක නිලවරණ අත්හිටුවයි

පාපැදි සංගම් දෙකක නිලවරණ අත්හිටුවයි

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

පාපැදි සම්මේලනයේ වත්මන් සභාපතිවරයා හා හිටපු සභාපතිවරයා සම්බන්ධ වන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අනුබද්ධිත සංගම් දෙකක නිලවරණ අත්හිටුවීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය තීරණය කර තිබේ.

ප‍්‍රවීණයන්ගේ පාපැදි සංගමයේ පැවැති නිලවරණය හා අද (28 වැනිදා) පැවැත්වීමට යොදාගෙන තිබෙන කොළඹ දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ නිලවරණය අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී තිබේ.

මෙම නිලවරණ දෙකම කැදවා ඇත්තේ පාපැදි සම්මේලනයේ තහනමට ලක්වූ ලේකම්වරුන් දෙදෙනකු  වන බැවින් එවන් නිලවරණයකදී පත්කර ගන්නා නිලධාරි මණ්ඩල නීති විරෝධී වන බව පාපැදි සම්මේලනය පෙන්වා දෙයි.

පසුගිය 14 වැනිදා පැවැත්වූ බව ප‍්‍රකාශ වූ ප‍්‍රවීණයන්ගේ පාපැදි සංගමයේ නිලවරණයේදී එහි සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සභාවෙන් පිටව ගියද ඔහුගේ අනුදැනුමෙන් තොරව නිලවරණය පැවැත්වූ බවට චෝදනා එල්ල වී තිබේ.

මේ අතර පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන කේ. පී. පී. පතිරණ මහතා හා හිටපු ප‍්‍රවීණතම පාපැදි කී‍්‍රඩකයෙකු වන බී. ජේ. සුමනසේකර මහතා කොළඹ දිස්ත‍්‍රික් පාපැදි සංගම් නිලවරණයේදී එහි සභාපති ධුරයට තරග වදිති. එහෙත් එය කැඳවා තිබෙන එහි වත්මන් ලේකම්වරයා පාපැදි තහනමකට ලක්වූ අයකු බැවින් එම නිලවරණයද නීති විරෝධී වන බව පාපැදි සම්මේලනය පෙන්වා දේ.  

පාපැදි ප‍්‍රවීණයන්ගේ සංගමයේ නිලවරණය කැඳවූ බව කියන එහි ලේකම්වරයාද මේ වනවිට පාපැදි තහනමකට ලක්ව සිටින්නෙකි.

එම නිලවරණයේදී ප‍්‍රකාශ වූයේ ජෝර්ජ් රුද්‍රිගු මහතා ප‍්‍රවීණයන්ගේ පාපැදි සංගමයේ නව සභාපතිවරයා ලෙස පත්වූ බවය.

එහෙත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වත්මන් සභාපතිවරයාද වන වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප‍්‍රකාශ කරන්නේ තමා තවමත් ප‍්‍රවීණයන්ගේ සංගමයේ සභාපතිවරයා බවයි.

කොළඹ දිස්ති‍්‍රක් පාපැදි සංගමයේ සභාපති බී.ජේ.සුමනසේකර මහතාගෙන් ‘ලංකාදීප ’ය කළ විමසුමකදී පැවැසුවේ සිය සංගමයේ කැඳවා තිබෙන නිලවරණය පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවය.

උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි සාමාජික කී‍්‍රඩා සමාජ නියෝජිතයන්ගේ රැස්වීමක් ඊයේ කැඳවා තිබූ බවද වාර්තා වේ. එහෙත් එහි ලේකම්වරයා පවසා ඇත්තේ යොදාගත් පරිදි ලබන සෙනසුරාදා (අද) නිලවරණය පැවැත්වෙන බවය.


●●●


අදහස් (0)

පාපැදි සංගම් දෙකක නිලවරණ අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.