Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner පාපැදි සංචිතයේ තේරීම් අනුරාධපුරයේදී

පාපැදි සංචිතයේ තේරීම් අනුරාධපුරයේදී

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දීර්ඝ කාලීන ඉලක්ක දෙකක් හඹායාමේ අරමුණින් ජාතික පාපැදි සංචිතයේ මූලික තේරීම් තරගාවලිය මෙම 13, 14, 15, යන දිනවල අනුරාධපුර නගරයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය තීරණය කර තිබේ.

වසර 2018දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල හා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පාපැදි පදක්කම් දිනා ගැනීමේ අභිප්‍රායෙන් පාපැදි සම්මේලනය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් දීර්ඝකාලීන ජාතික පුහුණු වැඩසටහන් ව්‍යාපෘතියක් දියත් කිරීමට තීරණය කළ බව ලංකාදීපය කළ විමසුමකදී ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලීලාරත්න මහතා පැවසීය.

ඒ අනුව මෙම 13 වැනිදා කාලය මැනීමේ කාන්තා හා පිරිමි ඉසව් ද, 15 වැනිදා ‘ක්‍රයිටිරියම්’ කාන්තා හා පිරිමි ඉසව් ද  පැවැත්වේ. ජනවාරි 14 වැනිදා වෙන් කර ඇත්තේ තේරීම් තරග සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ පුහුණුකරුවන් දැනුවත් කෙරෙන එක් දින වැඩමුළුවක් වෙනුවෙනි.

ඒ සඳහා පාපැදි සම්මේලනයේ ශ්‍රේණිගත ක්‍රීඩිකාවෝ 15 දෙනෙක් හා ක්‍රීඩකයෝ 45 දෙනෙක් සහභාගි වෙති. ඔවුන්ගෙන් ක්‍රීඩකයන් 30 දෙනකු හා ක්‍රීඩිකාවන් 10 දෙනකු ජාතික පාපැදි පූර්ව සංචිතය සඳහා තෝරා ගැනීමට කටයුතු යොදා තිබේ.

ඒ අතර ලබන ජුනි මාසයේ පැවැත්වීමට අපේක්ෂිත සංචිතගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කෙරෙන දෙවැනි තේරීම් තරගාවලියේදී ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රම ක්‍රමයෙන් 20 සිට 10 දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම දීර්ඝකාලීන සංචිතගත වැඩසටහන දියත් කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් කොළඹදී පැවැති විශේෂ සංකච්ඡාව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එම අවස්ථාවට ජාතික පාපැදි පුහුණුකරු උපාලි රත්නායක, ජාතික පාපැදි තේරීම් කමිටුවේ සභාපති ජෝර්ජ් රුද්‍රිගු, පාපැදි සම්මේලනයේ ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලීලාරත්න යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

වසර 2018දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාදීම මෙම දීර්ඝකාලීන පුහුණු ව්‍යාපෘතියේ ප්‍රධානතම අපේක්ෂාව බව කිත්සිරි ලීලාරත්න මහතා පවසයි.

වසර 2018ට නියමිත 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එම වසරේ අප්‍රේල් 4 සිට 15 වැනිදා දක්වා ඕස්ටේ්‍රලියාවේ ගෝල්ඞ් කොස්ට් නගරයේදී ද, 17 වැනි ආසියානු ක්‍රීඩා උළෙල එම වසරේ අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නගරවලදී ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ආසියානු ක්‍රීඩා උළෙලකදී හෝ පොදුරද මඩුළු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව පාපැදි ක්‍රීඩාවෙන් මෙතෙක් පදක්කම් දිනා නැත. ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මෙතක් දක්වා තිබෙන හොඳම දස්කම් ශ්‍රී ලංකා හිටපු පාපැදි ශූර කමල් පාලිතගෙන් වාර්තා වේ. ඔහු 1994 ජපානයේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ පාපැදි (පිරිමි) මාර්ග ධාවන ඉසව්වෙන් නව  වැනි ස්ථානය ලබා තිබේ.

මේ අතර ක්‍රීඩා ඇමැතිවරයා නව පාපැදි තේරීම් කමිටුවට අනුමැතිය ලබාදී තිබේ. ජෝර්ජ් රුද්‍රිගු මහතාගේ සහභාගිත්වයෙන් යුත් නව තේරීම් කමිටුවට බීජේ. සුමනසේකර, සාලිය වීරක්කොඩි, ජේ. පුහුල්ලෑව හා චන්දන කඳනආරච්චි යන මහත්වරු ඇතුළත් වෙති.

එහි කලින් සභාපති ධුරය දැරුවේ ඇන්ටන් රාජා මහතා විසිනි.

 


අදහස් (0)

පාපැදි සංචිතයේ තේරීම් අනුරාධපුරයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.