Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මැතිව් අබේසිංහ ඔලිම්පික් වරම් දිනාගනී

මැතිව් අබේසිංහ ඔලිම්පික් වරම් දිනාගනී

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොංකොං විවෘත පිහිනුම් තරගමාලාවේ III වැනි අදියරේදී ශ්‍රී ලංකා පිහිනුම් ශූර මැතිව් අබේසිංහ, මීටර 100 නිදහස් ආර (පිරිමි) ඉසව්ව තත්පර 50.53 කට අවසන් කරමින් 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලත් ක්‍රීඩකයකු ලෙස සහභාගිවීමේ අවස්ථාව හිමිකර ගත්තේය. මෙම තරගය ඊයේ (3 වැනිදා) පැවැත්විණ.

මීටර 100 නිදහස් ආර ඉසව්වෙන් තත්පර 50.86 ක් ලෙස සිය පෞද්ගලික හොඳම තරග නිමි කාලය ලබා සිටි මැතිව්, එය අලුත් කරමින් හොංකොං තරගාවලියේදී ඔලිම්පික් පරිසාධක මට්ටම ඉක්මවාලන කාලයක් ලබා ගැනීම කැපී පෙනේ.  

මෙම ඉසව්වේ රියෝ ඔලිම්පික් වරම් හිමිකර ගැනීම සඳහා පිහිනුම් ක්‍රීඩකයකු වාර්තා කළ යුතුව තිබු පරිසාධන මට්ටම (ඔලිම්පික් සුදුසුකම්ලාභී ‘බී’ ශ්‍රේණියෙන්) සටහන් වන්නේ තත්පර 50.70 කි. මැතිව්, සුදුසුකම් නොලත් නාම ලේඛණය යටතේ (වයිල්ඞ් කාඞ්) රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව හිමිකර ගෙන සිටියේය.

අවසන් මොහොතේ සුදුසුකම් ලත් ක්‍රීඩකයකු වශයෙන් අගෝස්තු මස 5 වැනිදා බ්‍රසිලයේදී ආරම්භවන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව මැතිව් ලැබීය. ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩා ඉතිහාසයේ අවශ්‍ය පරිසාධන මට්ටම සපුරාලමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගිවන පළමු වැන්නා වන්නේද මැතිව් අබේසිංහය.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් පිහිනුම් ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගිවී ඇත්නම් එම අවස්ථාව ඔවුන්ට හිමිව ඇත්තේ සුදුසුකම් නොලත් නාම ලේඛනයෙනි.

මැතිව් ඩන්කන් අබේසිංහ, 1996 වසරේ ඇමරිකාවේ උපත ලබා තිබේ. 2010 වසරේ සිට ලංකාවේ හැදී වැඩෙන මැතිව්, ආසියානු ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබීය.

 මෙම වසරේ ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් හතක් සමඟින් පදක්කම් 10 ක්ම ශ්‍රී ලංකාවට හිමිකර දුන් මැතිව්, ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් අතර එක්වරම ජනප්‍රිය තරුවක් බවට පත්විය.

එපමණක් නොව මැතිව් ගෙල පැළඳි රන් පදක්කම් හත සාග් ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු රන් පදක්කම් වැඩිම සංඛ්‍යාවක් දිනාගත් හිටපු ශ්‍රී ලංකා පිහිනුම් ශූර ජුලියන් බෝලිං ගේ වාර්තාව ද බිඳ දැමීමකි. ඔහු මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පිහිනුම් වාර්තා හතරක්ද බිඳ දමමින් දස්කම් දැක්වීය.

මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් නිර්දේශව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනාගෙන් සුදුසුකම්ලාභීන්ගේ සිවුවැන්නා මැතිව් වේ.

අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ (මැරතන්- පිරිමි), ගීතානි රාජසේකර (මැරතන් - කාන්තා), සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම - පිරිමි) යන ඔලිම්පික් පරිසාධන මට්ටම සපුරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරට මැතිව් ද ඇතුළත්වේ.

සුදේශ් පීරිස් (බර ඉසිලීම - පිරිමි), මංගල සමරකෝන් (වෙඩි තැබීම - පිරිමි), චාමර ධර්මවර්ධන (ජුඩෝ - පිරිමි) සහ නිලූක කරුණාරත්න (බැඞ්මින්ටන් පිරිමි) යන ක්‍රීඩකයන් ද ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් නිර්දේශවී සිටිති.

 පිහිනුම් ක්‍රීඩිකා කිමිකෝ රහීම්ටද සුදුසුකම් නොලත් නාම ලේඛණය යටතේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාවක් තිබෙන අතර ඇය මේ වන විට හොංකොං පිහිනුම් තරගාවලියට ද සහභාගිවී සිටින්නීය.

 


අදහස් (0)

මැතිව් අබේසිංහ ඔලිම්පික් වරම් දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.