Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner යසිතගේ පරාජයෙන් ශ්‍රී ලංකාව අවදානමේ

යසිතගේ පරාජයෙන් ශ්‍රී ලංකාව අවදානමේ

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඬේවිස් කුසලාන ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩයේ ටෙනිස් තරගාවලියේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගය 3-2 ක් ලෙස ජය ගැනීමට තායිලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. කේවල තරග 4 කින් සහ යුගළ තරගයකින් සමන්විත වූ මෙම තරගාවලිය දින 2 ක් පුරා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මෙම තරගාවලිය පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවට ආසියා ශාන්තිකර කළාපීය I කාණ්ඩයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය. එපමණක් නොව තවදුරටත් II කාණ්ඩයේ රැදී සිටීමට නම් ලබන අප්‍රේල් මස ඉන්දුනීසියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය අනිවාර්යෙන්ම ජයගැනීමටද ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. එම තරගාවලියද පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාව ආසියා ශාන් තිකර කළාපීය III කාණ්ඩය දක්වා ඇද වැටීමේ අවදානමට මුහුණ දී සිටී.

තායිලන්තයට එරෙහිව පැවැති තරගාවලියේ පළමු කේවල තරගයේදී වට 2-0 ක් ලෙස ජිරාට් නවසිරිසොම්බූන් පරාජය කිරීමට ශාමල් දිසානායක සමත් විය. එහෙත් දෙවැනි කේවල තරගයේදී විෂයා ට්‍රොංග්චරොයෙන්චයිකුල් හමුවේ වට 2-0 ක් ලෙස යසිත ද සිල්වා පරාජය වීමත් සමග තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් විය.

තරගාවලියේ කාල සටහනට අනුව යුගල තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සංඛ අතුකෝරල සහ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් නම් කර තිබිණ. එහෙත් ඔවුන් දෙදෙනා වෙනුවට කේවල තරගවලට ක්‍රීඩා කළ ශාමල් දිසානායක සහ යසිත ද සිල්වා යුගල තරගයටද යෙදවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය තීරණය කළේය.

එම තීරණය නිවැරදි තීරණයක් බවට සනාථ කළ ශාමල් සහ යසිත වට 2-0 ක් ලෙස පාලපූම් කොවපිටුක්ටෙඞ් සහ සාන්චි රටිවටාන පරාජය කරමින් යුගල තරගයෙන් ජය ලැබූහ. එම ජයග්‍රහණයත් නැවත වරක් ශ්‍රී ලංකාව තරග 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය.

තෙවැනි කේවල තරගය සඳහා නම් කර සිටි ශාමල් දිසානායක විවේක ගන්වමින් ඔහු වෙනුවට ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් එම තරගයට යෙදවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්වය ගත් තීරණය වැරදී ගියේ එහිදී විෂයා ට්‍රොංග්චරොයෙන්චයිකුල් හමුවේ වට 2-0 ක් ලෙස ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් පරාජය වීමත් සමගිනි.

ඒ අනුව තරගාවලිය යළිත් තරග 2-2 ක් ලෙස සම තත්ත්වයට පත්වූ අතර යසිත ද සිල්වා සහ ජිරාට් නවසිරිසොම්බූන් අතර පැවැති අවසන් කේවල තරගය දෙපිලටම තීරණාත්මක තරගයක් බවට පත්විය. එහිදී ඉතාමත් තියුණු තරගයකින් අනතුරුව වට 2-0 ක් ලෙස යසිත ද සිල්වා පරාජය කළ ජිරාට් නවසිරිසොම්බූන් සමස්ත තරගයේ ජය 3-2 ක් ලෙස තායිලන්තයට හිමිකර දුන්නේය.


තරග ප්‍රතිඵල

■    ශාමල් දිසානායක විසින් වට 2-0 ක් ලෙස ජිරාට් නවසිරිසොම්බූන් පරාජය කරන ලදි. (6/4, 7/5)
■    විෂයා ට්‍රොංග්චරොයෙන්චයිකුල් විසින් වට 2-0 ක් ලෙස යසිත ද සිල්වා පරාජය කරන ලදි. (6/3, 6/3)
■    ශාමල් දිසානායක සහ යසිත ද සිල්වා විසින් වට 2-0 ක් ලෙස පාලපූම් කොවපිටුක්ටෙඞ් සහ සාන්චි රටිවටාන පරාජය කරන ලදහ. (6/3, 6/4)
■    විෂයා ට්‍රොංග්චරොයෙන්චයිකුල් විසින් වට 2-0 ක් ලෙස ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් පරාජය කරන ලදි. (7/5, 6/0)
■    ජිරාට් නවසිරිසොම්බූන් විසින් වට 2-0 ක් ලෙස යසිත ද සිල්වා පරාජය කරන ලදි. (7/5, 6/2)

 


අදහස් (0)

යසිතගේ පරාජයෙන් ශ්‍රී ලංකාව අවදානමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.